4. 1. 3. 4.
[කාළකාරාම සූත්‍රය]
24. [මා විසින් මෙසේ අසන ලදී:] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේතයෙහි වූ කාළකාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම දනිමි.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (අතීත වශයෙන්) දැන ගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේට ප්‍රකටසේ විදිතය. (එහෙත්) එ හැම සදොර අරමුණු කරා තථාගතයන් වහන්සේ තෘෂ්ණාදෘෂ්ටීන් වැද නොගත්හ.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (මහාජනයා දක්නා සෙයින් තෘෂ්ණාදීන්) දනිමි යි කියම් නම් එය මාගේ මෘෂායෙක් වෙයි. (ආත්ම-ආත්මීයභාවයෙන් ශුන්‍යතා ඇතිහෙයිනි.)
මහණෙනි, ... එ හැම මම දනිමි යී ද, නො දනි මි යී ද කියම් නම් එ ද එබඳු ම වෙයි. එ හැම මම නො ම දනිමි යී ද නො දන්නෙම් නො වෙමි යී ද කියම් නම්, එබස මාගේ දෝෂයෙක් වෙයි.
මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ ද්‍රෂ්ටව්‍ය වූ රූපායතනය දැක ඒ රූපායතනය (තණ්හාදිට්ඨිමඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දක්නා ලද) රූපායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ද්‍රෂ්ටව්‍යය නො හඟිත්. ද්‍රෂ්ටෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. ශ්‍රෝතව්‍ය වූ ශබ්දායතනය අසා ඒ ශබ්දායතනය (තණ්හා දිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො අසන ලද) ශබ්දායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ශ්‍රොතව්‍යය නො හඟිත්. ශ්‍රෝතෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. මුතසඞ්ඛ්‍යාත ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යායතනය දැන ඒ මුතායතනය (තණ්හාදිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දන්නා ලද) මුතසඞ්ඛ්‍යාත ගන්‍ධාදිය නො හඟිත්. මන්තව්‍ය සඞ්ඛ්‍යාත ගන්‍ධාදිය නො හඟිත්. මන්තෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්. විඥාතව්‍යධර්‍මාලම්බනය දැන ඒ විඥාතව්‍යය තණ්හාදීන් නො හඟිත්. (මහාජනයා විසින් අවිඥාත) ධර්‍මාලම්බනය නො හඟිත්. විඥාතව්‍යය නො හඟිත්. විඥතෘ සඞ්ඛ්‍යාත සත්ත්‍වයකු නො හඟිත්.
මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨසුතමුතවිඤ්ඤාත වූ ධර්‍මයන් කෙරෙහි තාදී සේක් ම තාදීයහ. ඒ තථාගතතාදීභාවයට වැඩි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ තාදීභාවයෙක් නැති යි වදාරමි.
60. මෙරමාගේ බසින් (පරප්‍රත්‍යයෙන්), සැබැවැ’යි හැඟීම් කොට ගිල ගන්නා ලද යම් කිසි රූපායතනයෙක් වේවයි ශබ්දායතනයෙක් වේවයි ගන්‍ධාදිමුතයෙක් වේවයි ස්වයංසංවෘත සඞ්ඛ්‍යාත ඒ දෘෂ්ටිගතීන් කෙරෙහි තාදී වූයෙම් සත්‍යය යි හෝ මෘෂාය යි හෝ පරම කොට නො හදහමි.
61. යම් දෘෂ්ටිගතියෙක ප්‍රජාවෝ ඇලුනාහු බැස ගත්තාහු වෙත් ද කැලම තෙල ශල්‍යය දැක තෙල දෘෂ්ටිශල්‍යය එසේ ම දනිමි යි දක්මියි තථාගතයන්ගේ ගැලැගැන්මෙක් නැත.
4. 1. 3. 5.
[බ්‍රහ්මචරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මේ බ්‍රම්සර වනාහි ජනයා විස්මයපත් කරණු පිණිස, දනා නලවනු පිණිස, ලාභසත්කාරකීර්ති පිණිස, වාදප්‍රමෝක්‍ෂය පිණිස, ජනයෝ මා මෙසේ හඳුනත්වා යන මේ පිණිස නො වැසෙයි. මහණෙනි, වැලිත් මේ බඹසර වනාහි සංවරය පිණිස, ක්ලේශප්‍රහාණය පිණිස, රාගාදීන්ගේ විරාගය පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස වැසේ.
62. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිහරහිත (මෙහි මේ මෙසේවීල යන පරප්‍රත්‍යය නැති) නිවන් තුළට පමුණුවන සුලු, බඹසර ක්ලේශයන්ගේ සංවරය පිණිස, ප්‍රහාණය පිණිස වදාළහ.
63. පූජ්‍ය මහර්ෂීන් විසින් තෙල මග අනුගමනය කරණ ලදී. බුදුන් විසින් දෙසූ සැටියෙන් යම් කෙනෙක් එමග පිළිපදිත් ද ශාස්තෘශාසනකර වූ ඔහු දුක් කෙළවර කෙරෙත්.