4. 1. 3. 3.
[ලෝක සූත්රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, ලෝකය - දුඃඛසත්යය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් - දුඃඛසත්යයෙන් විසංයුක්තයහ. මහණෙනි, ලෝකසමුදය (තෘෂ්ණාව) තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ විසින් ලෝකසමුදය ප්රහීණ කරණ ලදී. මහණෙනි, ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. මහණෙනි, ලෝකනිරෝධගාමිනී ප්රතිපද් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදු. ලෝකනිරෝධගාමිනීප්රතිපද් තථාගතයන් වහන්සේ විසින් වඩන ලදු.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ශ්රමණබ්රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්යයන් සහිත සත්ත්වාඛ්ය ප්රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්ධරස ස්ප්රෂ්ටව්යායතනයෙක් ධර්මාලම්බනයෙක් ලබන ලද ද, සොයන ලද ද, සිතින් ලුහුබැඳ ගන්නා ලද ද, එ හැම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. එයින් ‘තථාගත’යයි කියනු ලැබේ.
මහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුස්සත්යාවබෝධය කරණ සේක් ද, යම් රැයෙක පිරිනිවන් පානා සේක් ද, මේ අතර යමක් බණන සේක් ද, තෙපලන සේක් ද, නිදෙසන සේක් ද, එහැම එපරිදි ම වෙයි. වෙනස් නො වෙයි. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
මහණෙනි, තථාගතයන් වහන්සේ යථාවාදී සේක් තථාකාරී සේක. යථාකාරී සේක් තථාවාදී සේක. මෙසේ යථාවාදී තථාකාරීයහ. යථාකාරී තථාවාදීයහ. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි ශ්රමණබ්රාහ්මණයන් සහිත, අවශේෂ දේවමනුෂ්යයන් සහිත සත්ත්වාඛ්ය ප්රජායෙහි තථාගතයන් වහන්සේ හැම මැඩ ගෙණ සිටුනා සේක් මෙරමා විසින් නො මඩනා ලදහ. ඒකාන්තයෙන් හැම දක්නා සේක් තමා වශයෙහි ලා සිටුනා සේක. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.
53. සියලු ත්රෛධාතුක ලෝකසන්නිවාසය හා එහි (සර්වලෝකයෙහි) හැම ඥේයධර්ම ඇති සැටි දැන යෝගප්රහාණයෙන් ත්රෛධාතුකලෝකයෙන් විසංයුක්ත වූයේ ත්රෛධාතුකලෝකයෙහි තෘෂ්ණා - දෘෂ්ටිරහිත වූයේ -
54. සිවුවැදෑරුම් හැම ග්රන්ථයන් මුදා හැර සිටියේ රූපාදි හැම අරමුණු මැඩ ගෙණ සිටියේ වේ ද, හේ ඒකාන්තයෙන් ධීරයෙකි. කොයිනුදු බිය නැති නිර්වාණසඞ්ඛ්යාත පරමශාන්තිය ඔහු විසින් පහස්නා ලදු.
55.“කෙලෙස් දුක් නැති මුලුසුන් සැක ඇති ක්ෂීණාස්රව වූ තුලුන් වහන්සේ සර්වඥයහ. සර්වකර්මක්ෂයට පැමිණියහ. නිවන් නිමිත්තෙහි (එය අරමුණු කොට සිටුනා) ඵලවිමුක්තියෙන් විමුක්තයහ.
56. ඒ භගවත්හු නම් තෙල බුද්ධයහ. තුලුන් වහන්සේ අනුත්තරසිංහයහ. දෙවියන් සහිත ලොවට බ්රහ්මචක්රය පැවැත් වූ සේක.”
57. මෙසේ කියමින් දෙවිමිනිස්හු හෝ යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු එළඹ මහත් වූ පහ වූ බිය ඇති උන්වහන්සේ වඳිත්.
58.“තුමූ දැමුනාහු දමනය කරණුවන් අතර ශ්රේෂ්ඨය හ. තුමූ ශාන්ත වූවාහු ශමනය කරණුවන් අතර ඍෂියහ. තුමූ මිදුනාහු මුදනුවන් අතර අග්රයහ. තුමූ තීර්ණ වූවාහු තරණය කරණුවන් අතර උත්තමයහ.
59. දෙවියන් සහිත ලෝකයෙහි මුඹ වහන්සේට ප්රතිපද්ගලයෙක් නැතැ”යි මෙසේ කියා පහ වූ බිය ඇති පූජ්ය වූ තෙල බුදුරජුන් වඳිත්.
4. 1. 3. 4.
[කාළකාරාම සූත්රය]
24. [මා විසින් මෙසේ අසන ලදී:] එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සාකේතයෙහි වූ කාළකාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මහණෙනි, යි භික්ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්රමණබ්රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්යයන් සහිත ප්රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්ධ-රස-ස්ප්රෂ්ටව්යායතනයෙක් ධර්මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම දනිමි.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්රමණබ්රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්යයන් සහිත ප්රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්ධ-රස-ස්ප්රෂ්ටව්යායතනයෙක් ධර්මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (අතීත වශයෙන්) දැන ගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේට ප්රකටසේ විදිතය. (එහෙත්) එ හැම සදොර අරමුණු කරා තථාගතයන් වහන්සේ තෘෂ්ණාදෘෂ්ටීන් වැද නොගත්හ.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්රමණබ්රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්යයන් සහිත ප්රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්ධ-රස-ස්ප්රෂ්ටව්යායතනයෙක් ධර්මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (මහාජනයා දක්නා සෙයින් තෘෂ්ණාදීන්) දනිමි යි කියම් නම් එය මාගේ මෘෂායෙක් වෙයි. (ආත්ම-ආත්මීයභාවයෙන් ශුන්යතා ඇතිහෙයිනි.)