4. 1. 3. 2.
[ද්විතීය උරුවේල සූත්රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මම එක් කලෙක උරුවේලා දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාලන්යග්රෝධමූලයෙහි සම්යක්සම්බුද්ධ ව පළමු ම වෙසෙමි. මහණෙනි එකල ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ දෑමහලු වූ තුන් විය ඉක්ම වූ පැසිම්විය ට පැමිණි බොහෝ බමුණෝ (හුහුඞ්කජාතික බමුණු සමග) මා කරා එළඹියහ. එළඹ මා සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. මහණෙනි, එකත්පසෙක හුන් ඒ බමුණෝ මට තෙල වචන කීහ:
භවත් ගෞතමයෙනි, “මහණ ගොයුම්හු ජරාජීර්ණ, වයෝවෘද්ධ, දෑමහලු, තුන්විය ඉක්ම සිටි, පැසිම්වියට පැමිණි බමුණන් නොවඳිති යි, දැක හුනස්නෙන් නො නැගිටිති යි, අසුනෙන් නො අමතති” යි අප විසින් තෙල අසන ලදී. භවත් ගෞතමයෙනි, එය (අප විසින් ඇසූ කරුණ) එසේ ම ය. භවත් ගෞතමයෝ ජීර්ණ, වෘද්ධ, මහලු, අධවගත, පශ්චිමවයසට ගිය, බමුණන් නො වඳිති. දැක හුනස්නෙන් නො නැගිටිති. අසුනෙන් නො කැඳවති. භවත් ගෞතමයෙනි, එකරුණ නොනිසි මැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් වී: මේ ආයුෂ්මත්හු ස්ථවිර හෝ ස්ථවිර භාවය කරණ දහම් හෝ එකැතින් ම නො දනිත්. මහණෙනි, ඉදින් උපතින් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක් වයස් ඇති හෝ වෘද්ධයෙක් වෙයි. හෙ ද අකාලවාදීත් වෙයි. අභූතවාදීත් වෙයි. අනර්ත්ථවාදීත් වෙයි. අධර්මවාදීත් වෙයි. අවිනයවාදීත් වෙයි. අකාලයෙහි නිෂ්කාරණ වූ පර්ය්යන්තරහිත වූ ලොවීලොව්තුරා අරුත් නැති ලෙහි නිධන් නො කටයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ අඳබල් ද ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
මහණෙනි, ඉඳින් තුරුණු වූ ඉකළු කෙස් ඇති භද්රයෞවනයෙන් සමන්වාගත ප්රථමවයසින් යුත් ළදරුවෙක් වෙයි. හෙ ද කාලවාදීත් වෙයි. භූතවාදීත් වෙයි අර්ත්ථවාදීත් වෙයි. ධර්මවාදීත් වෙයි. විනයවාදීත් වෙයි. නිසි කල කරුණු සහිත වූ පර්ය්යන්ත ඇති ලොවී ලොව්තුරා අරුත් ඇති ලෙහි නිධන් කළයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ පණ්ඩිත තෙමේ ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
මහණෙනි, මේ ථේර (තෙරබව) කරණ ධර්මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්ර වරදෙහි බිය දක්නා සුලු වෙයි, සිකපද මොනවට ගෙණ හික්මෙයි.
බහුශ්රුත වෙයි, ශ්රැතධර වෙයි, ශ්රැතසන්නිචය (=රැස් කොට ගත් ශ්රැත ඇත්තේ) වෙයි, ආදිකල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යවසාන කල්යාණ වූ අර්ත්ථ සහිත වූ ව්යඤ්ජනසහිත වූ කේවලපරිපූර්ණ වූ පරිශුද්ධබ්රහ්මචර්ය්යය කියන යම් ඒ දහම්හු ඇත් ද, එබඳු දහම්හු මොහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු තෙපුලෙන් වනපොත් කරණ ලද්දාහු සිතින් පුන පුනා දක්නා ලද්දාහු (අරුත් විසින් කරුණු විසින්) ප්රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්.
අධිචිත්තය ඇසුරු කොට සිටි ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර දැහැන් (රිසි රිසි කෙණෙහි සමවැදීම් විසින්) කැමැතිසේ ලබන සුලු වෙයි. සුවසේ ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි.
ආස්රවක්ෂයහේතුයෙන් අනාස්රව වූ චේතෝවිමුක්ති ප්රඥාවිමුක්ති මෙලොව්හි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.
මහණෙනි, මේ සතර ථේර කරණ ධර්මයෝය.