4. 1. 3. 1.
[ප්‍රථම උරුවේල සූත්‍රය]
21. [මා විසින් මෙසේ අසන ලදී] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක:
මහණෙනි, මම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාල නම් න්‍යග්‍රෝධමූලයෙහි සම්‍යක් සම්බුද්ධ ව පළමු ම වෙසෙමි.
මහණෙනි, රහෝගත වූ එකත් අරමුණෙහි ඇලුනු මට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන: අනෙකකු කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ දුකසේ වෙසෙයි. මම කිනම් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් දෝයී. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී.
මම නො පිරිපුන් ශීලස්කන්‍ධයාගේ පිරිපුන්බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි-ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි, මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සිල්සපන් එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම (බුදුඇසින්) නො දක්මි.
මම නොපිරිපුන් සමාධිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ ඇසුරුකොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සමාධිසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
මම නොපිරිපුන් ප්‍රඥාස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණ බමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා ප්‍රඥාසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
මම නො පිරිපුන් විමුක්තිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණබමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා විමුක්ති සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.
මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී: මා විසින් යම් මේ ධර්‍මයෙක් අවබෝධ කරණ ලද නම්, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ මම වෙසෙම් නම් මැනවි නො! යී.
මහණෙනි, එක්බිති සහම්පති මහබඹ ඔහු සිතින් මාගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ ද දික් කළ අතක් හකුළා ගන්නේ ද එපරිදි බ්‍රහ්මලෝකයෙහි අතුරුදහන් කෙළේ මා පෙරට පහළ වී.
මහණෙනි, එක්බිති සහම්පතී මහබඹ උතුරුසළුව එකස් කොට ලා දකුණු දණමඬල බිම හැන මා වෙත ඇඳිලි නමා මට මෙ තෙපුල් සැළ කෙළේය: භාග්‍යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ විසූහ. වහන්ස, අනාගතයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද් ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්. වහන්ස, මෙකල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්වා යී.
සහම්පති මහබඹ මෙය කීය. මෙය කියා වැලිත් අනෙක් තෙල බස් ද කීය:
47. අතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූහු ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙකුත් වෙද්ද, දැන් බොහෝ දෙනාගේ ශෝක නසන යම් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇද්ද,
48. එහැම සද්ධර්‍මය ගුරු කොට ඇත්තාහු විසූහ. දැනුදු වෙසෙත්. වැලි අනාගතයෙහිදු වෙසෙත්. බුදුවරුන්ගේ මේ ධර්‍මතා ය.
49. එහෙයින් වැඩ කැමැති, මහත්බව පතන, බුදුවරුන්ගේ සස්න සිහි කරන්නහු විසින් සද්ධර්‍මය ගරු කටයුත්තේ යි.
මහණෙනි, සහම්පති මහබඹ මේ කිය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
මහණෙනි, එක්බිති මම බ්‍රහ්මාරාධනය ද තමහට නිස්සද දැන, මා විසින් යම් ධර්‍මයෙක් අවබෝධ කරණ ලද ද, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙන විසීමි. මහණෙනි, යම් කලෙක සිට සඞ්ඝයාත් (චතුර්විධ) මහත්ත්‍වයෙන් සමන්‍වාගත ද එකල සඞ්ඝයා කෙරෙහිදු මාගේ බලවත් ගෞරවය විය.
4. 1. 3. 2.
[ද්විතීය උරුවේල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මම එක් කලෙක උරුවේලා දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාලන්‍යග්‍රෝධමූලයෙහි සම්‍යක්සම්බුද්ධ ව පළමු ම වෙසෙමි. මහණෙනි එකල ජරාජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ දෑමහලු වූ තුන් විය ඉක්ම වූ පැසිම්විය ට පැමිණි බොහෝ බමුණෝ (හුහුඞ්කජාතික බමුණු සමග) මා කරා එළඹියහ. එළඹ මා සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. මහණෙනි, එකත්පසෙක හුන් ඒ බමුණෝ මට තෙල වචන කීහ: