4. 1. 2. 10.
[භත්තුද්දෙසක සූත්‍රය]
20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:
ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත භත්තුද්දෙසක මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම්සේ ගෙනවුත් බහා තැබූයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. බියෙන් අගතියට නො යෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය.
45. කාමයෙහි අසංයත වූ යම් කිසි ජන කෙනෙක් අධාර්මික වෙත් ද ධර්‍මගෞරව රහිත වෙත් ද ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු අගතිගාමීහු වෙත් ද (මෙ බඳු ජනයන් ඇති පිරිසෙහි) මේ භත්තුද්දෙසක තෙමේ ‘පිරිස්කසළුය’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.
46. යම් ජන කෙනෙක් ධර්‍මයෙහි සිටියාහු පව් නො කෙරෙද්ද, ඡන්‍දයෙන් හා ද්වේෂයෙන් අගතිගාමී නො වෙද්ද, බියෙනුදු අගතිගාමීහු නොවෙත් ද, එහෙයින් ඒ සත්පුරුෂයෝ පැසසිය යුත්තාහ. (මෙබඳු ජනයන් ඇති) පිරිසෙහි මේ භත්තුද්දෙසක තෙමේ ‘මණ්ඩන’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.
චරවර්‍ග දෙවැනි යි.
එහි උද්දානය:
චර, සීල, පධාන, සංවර, පස් වැනි පඤ්ඤත්ති, සොඛුම්ම, අගති (සූත්‍ර) තුණය, භත්තුද්දෙස යනු හා ඒ සූත්‍ර දසයෙකි.