4. 1. 1. 7.
[සොහෙන්ති සූත්‍රය]
7. මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසක සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසිකා තොමෝ සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මේ සතර දෙන සඟුන් හොබවත්.
20. යම් මහණෙක් ව්‍යක්ත වූයේත් විශාරද වූයේත් වේ ද, බහුශ්‍රුත වූයේත් ධර්‍මධර වූයේත් වේ ද, නව ලෝකෝත්තර ධර්‍මයට අනුධර්‍ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාව පුරන්නේත් වේ ද, එබඳු ඒ මහණ සඞ්ඝසෝභනය යි කියනු ලැබේ.
21. සිල් සපන් යම් මහණෙක් වේ ද, ආගමබුහුසු (ඇසූපිරූතැන් ඇති) යම් මෙහෙණක් වේ ද, සැදැහැති යම් උවසුවෙක් වේ ද, සැදැහැති යම් උවැසියක් වේ ද, මොහු සඟුන් හොබවත්. මොහු වනාහි සඞ්ඝසෝභනයෝ යි.
4. 1. 1. 8.
[වේසාරජ්ජ සූත්‍රය]
8. මහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ සතර වෛශාරද්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, “සම්‍යක් සම්බුද්ධයම්හ යි පිළිණ කරණ තොප විසින් මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ״ යි (ඔවුන් කියන) එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙ බඳු පුද්ගලයෙකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “ක්‍ෂීණාස්‍රවයම්හයි පිළිණ කරණ තොප විසින් මේ ආස්‍රවයෝ අපරික්‍ෂීණයහ״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයෙකු නොදක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “තොප විසින් යම් ඒ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරණ ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ״යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “තොප විසින් යම් අර්‍ත්‍ථයක් සඳහා දහම් දෙසන ලද ද ඒ දහම පුරණුවහට මොනොවට දුක් නසනු පිණිස නො යෙති״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.