4. 1. 1. 8.
[වේසාරජ්ජ සූත්රය]
8. මහණෙනි, යම් වෛශාරද්යයෙකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්රහ්මචක්ර සඞ්ඛ්යාත දම්සක් පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ සතර වෛශාරද්ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, “සම්යක් සම්බුද්ධයම්හ යි පිළිණ කරණ තොප විසින් මේ ධර්මයෝ අනභිසම්බුද්ධයහ״ යි (ඔවුන් කියන) එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙ බඳු පුද්ගලයෙකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “ක්ෂීණාස්රවයම්හයි පිළිණ කරණ තොප විසින් මේ ආස්රවයෝ අපරික්ෂීණයහ״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයෙකු නොදක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “තොප විසින් යම් ඒ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහු ද, ඒ ධර්මයෝ සෙවුනාහට අන්තරාය පිණිස අසමර්ත්ථයහ״යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “තොප විසින් යම් අර්ත්ථයක් සඳහා දහම් දෙසන ලද ද ඒ දහම පුරණුවහට මොනොවට දුක් නසනු පිණිස නො යෙති״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, යම් වෛශාරද්යයෙකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්රහ්මචක්ර සඞ්ඛ්යාත දම්සක් පවත්වන සේක් ද, මේ ඒ තථාගතයන් වහන්සේගේ සතර වෛශාරද්යයෝ යි.
22. යම් මහණ බමුණු කෙනෙක් (මෙකල) යම් වාදපථයක් ඇසුරු කළාහු ද, (එහෙයින් ම) බොහෝ බවට ගියාහු ද, එබඳු යම් කිසි මේ වාදපථයෝ වෙත් නම් ඔහු විශාරද වූ වාද ඉක්මවා සිටුනා තථාගතයන් වහන්සේ කරා පැමිණ බිඳෙත්.
23. සර්වසත්ත්ව හිතානුකම්පී වූ සකලගුණ සමන්වාගත වූ වාදපථ මැඩගෙණ සිටුනා යමෙක් දම්සක් පැවැත්වී ද, භවාන්තයට ගිය දෙව්මිනිසුනට ශ්රේෂ්ඨ වූ එබඳු ඒ තථාගතයන් වහන්සේට සත්හු නමඳිත්.
4. 1. 1. 9.
[තෘෂ්ණා සූත්රය]
9. මහණෙනි, යම් විෂයයෙක මහණහට තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ තෘෂ්ණා උත්පාදයෝ සතරෙකි. කවර සතරහ යත්:
මහණෙනි, චීවරහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ශයනාසනහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ඉති භවාභවසඞ්ඛ්යාත (චීවරාදියෙහි) ප්රණීත - ප්රණීතතරාදි හේතුයෙන් හෝ තෘෂ්ණාව උපදී.
මහණෙනි, මහණහට යම් විෂයයෙක තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ සතර තෘෂ්ණා උත්පාදයෝ ය.
24. තෘෂ්ණාව දෙවෙනි කොට ගත් (=තෘෂ්ණාව සහායිකාව කොට ඇති) පුරුෂ දීර්ඝකාලයක් සැරිසරණුයේ ඉත්ථම්භාව - අන්යථාභාවසඞ්ඛ්යාත (=ඉහලෝක-පරලෝක) සංසාරය පැන නො යයි.
25. තෙල ආදීනවය දැන, දුඃඛයාගේ සම්භවය වූ තෘෂ්ණාව දැන, පැහූ තෘෂ්ණා ඇති, උපාදාන විසින් නො ගන්නා සතිසම්පජඤ්ඤයෙහි විපුලබවට පත් මහණ වෙසේ.
4. 1. 1. 10.
[යෝග සූත්රය]
10. මහණෙනි, මේ සතර යෝග කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්; කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්යායෝග යි.
මහණෙනි, කාමයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, නිස්සරණය ද, තත් වූ සැටියෙන් නො දනියි. කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට වස්තුකාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි බැසගැනීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ කාමයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග යි.)