4. 1. 1. 5.
[අනුසෝත සූත්රය]
5. මහණෙනි, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
අනුසෝතගාමී පුද්ගලය, පටිසෝතගාමී පුද්ගලය, ඨිතත්ත පුද්ගලය, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්ෂීණාස්රව බ්රාහ්මණ යි.
මහණෙනි, අනුසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් ද සෙවුනේ ය. පස්පව් ද කෙරේ. මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, පටිසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් නො සෙවුනේ ය. පස්පව් ද නොකරයි. සහගිය දුකින් ද සහගිය දොම්නසින් ද කඳුළු හුනු මුහුණු ඇතියේත් හඬනේ පිරිපුන් පිරිසිදු බඹසර පුරයි. මහණෙනි, මේ පටිසෝතගාමී පුද්ගල යී කියනු ලැබේ.
මහණෙනි, ඨිතත්ත පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය ව යෑමෙන් ඕපපාතික වෙයි. ඒ සුදවැසි බඹලොව පිරිනිවන් පානා සුලු වූයේ ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ වෙයි. මහණෙනි, මේ ඨිතත්ත පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා බ්රාහ්මණ පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආස්රවයන් ක්ෂය ව යෑමෙන් අනාස්රව වූ (ඵලසමාධි සඞ්ඛ්යාත) චේතෝවිමුක්තිය (ඵලප්රඥා සඞ්ඛ්යාත) ප්රඥා විමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ පුද්ගල ඕඝ තරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා ක්ෂීණාස්රව බ්රාහ්මණ යී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්යමානයහ.
11. මෙලොව කාමයන් කෙරෙහි ලා අසංයත වූ අවීතරාග වූ කාමභෝගී වූ පුන පුනා ජාති ජරා දෙකට වැදගන්නා වූ තෘෂ්ණාවට බැස ගත් යම් ජන කෙනෙක් ඇද්ද ඔහු අනුසෝතගාමීහු යි.
12. එහෙයින් ම මෙලොව එළඹ සිටි සිහි ඇති ධීර තෙමේ වස්තුකාමයන් ද පඤ්චපාපයන් ද නො සෙවුනේ සහගිය දුකිනුත් කාමයන් හැර සිටුනේය. ඒ පුඟුලා පටිසෝතගාමී යී කියත්.
13. යම් ආර්ය්යශ්රාවකයෙක් ඒකාන්තයෙන් පඤ්චඕරම්භාගීය කෙලෙසුන් පියා පිරිපුන් ශික්ෂා ඇත්තේ අපරිහාණස්වභාව ඇත්තේ චිත්තවශීභාවප්රාප්ත වූයේ මොනොවට පිහිටුවා ලූ ෂඩින්ද්රිය ඇත්තේ වේ ද, ඒ ආර්ය්යශ්රාවක ඒකාන්තයෙන් ඨිතත්ත යී කියනු ලැබේ.
14. යමක්හු විසින් කුශලාකුශලධර්මයෝ නුවණින් වැදගෙන නසන ලද්දාහු, අස්තඞ්ගත වූවාහු, විද්යමාන නොවෙත් ද, වැස නිම කළ බඹසර ඇති තුන්ලෝ කෙළපත් සිවුමග නුවණින් නිවන් ගියා වූ ඒ ආර්ය්යශ්රාවක තෙම පාරගත යී කියනු ලැබේ.
4. 1. 1. 6.
[අප්පස්සුත සූත්රය]
6. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
ශ්රැතයෙන් උපපන්න නොවූ (සිද්ධිප්රාප්ත නොවූ) අල්පශ්රැත ය. ශ්රැතයෙන් උපපන්න වූ අල්පශ්රැත ය. ශ්රැතයෙන් අනුපපන්න වූ බහුශ්රුත ය. ශ්රැතයෙන් උපපන්න වූ බහුශ්රුත යි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න අල්පශ්රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසි යම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟසසුන් මඳක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්රැතයාගේ අර්ත්ථය නො දැන පෙළ දහම නො දැන ධර්මානුධර්ම සඞ්ඛ්යාත පූර්වභාගප්රතිපදාවට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න අල්පශ්රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්රැතයෙන් උපපන්න අල්පශ්රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් ලේශමාත්රයක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්රැතයාගේ අටුවා දැන පෙළ දැන ධර්මානුධර්මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රැතයෙන් උපපන්න අල්පශ්රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න බහුශ්රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි කිසියම් පුඟුලකු විසින් සුත්ත ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්රැතයාගේ අටුවා නො දැන පෙළ නො දැන ධර්මානුධර්මයට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රැතයෙන් අනුපපන්න බහුශ්රැතයෙක් වෙයි.