4. 1. 1. 4.
[දුතියඛත සූත්‍රය]
4. මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු (එහෙයින් ම) නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනකු කෙරෙහිය යත්:
මහණෙනි, මෑණියන් කෙරෙහි වරදවා පිළිපදනා අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
මහණෙනි, පියාණන් කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ (ගුණ විසින්) සාරා ලන ලද (එහෙයින් ම) නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ සෑරු නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, සතරදෙනකු කෙරෙහි මොනොවට පිළිපන් ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නොසාරා ලන ලද (එහෙයින් ම) නො නට ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාදරහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනෙකු කෙරෙහිය යත්:
මහණෙනි, මෑණියන් කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සරූ එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, පියාණන් කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සාරා ලන ලද එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ සාරා නො ලූ එහෙයින් ම නො නට ආත්මයක් පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
7. යම් මිනිසෙක් (මිත්තවින්‍දකාදීන් සෙයින්) මෑණියන් කෙරෙහි ද, (අජාතශත්‍රැ ආදීන් සෙයින්) පියා කෙරෙහි ද වරදවා පිළිපදනේ ද, (දේවදත්ත ආදීන් සෙයින්) සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහිද වරදවා පිළිපදනේ ද, වැලිත් (කෝකාලිකාදීන් සෙයින්) තථාගත ශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
8. මවු පියන් කෙරෙහි ලා කළ ඒ අධර්‍මචර්‍ය්‍යායෙන් පඬිහු මෙලොව්හි ම ඔහු ගරහත් මෙයින් සැව අපායට ද යෙයි.
9. යම් මිනිසෙක් මවුකෙරෙහි දු පියා කෙරෙහි දු සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහි දු වැලිත් තථාගතශ්‍රාවකයා කෙරෙහි දු මොනොවට පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ පිණුදු ප්‍රසව කෙරෙයි.
10. මවුපියන්කෙරෙහි ලා කළ (සම්‍යක් ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) ඒ පඬිහු ඔහු මෙලොව්හිම පසසත්. මෙයින් සැව ධර්‍මචර්‍ය්‍යායෙන් ස්වර්‍ගයෙහි ද (විපාකනන්‍දනායෙන්) සතුටු වෙයි.