4. 1. 1. 10.
[යෝග සූත්‍රය]
10. මහණෙනි, මේ සතර යෝග කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්; කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝග යි.
මහණෙනි, කාමයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, නිස්සරණය ද, තත් වූ සැටියෙන් නො දනියි. කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට වස්තුකාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි බැසගැනීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ කාමයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග යි.)
භවයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් භවයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද තත් වූ සැටියෙන් නො දනී ද, භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට භවයෙහි යම් භවරාගයෙක්, භවනන්‍දියෙක්, භවස්නෙහයෙක්, භවමූර්‍ඡායෙක්, භවපිපාසයෙක්, භවපරිදාහයෙක්, භවයෙහි ගැලීසිටීමෙක්, භවතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ භවයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග හා භවයෝග යි.)
දෘෂ්ටියෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට දෘෂ්ටියෙහි යම් දෘෂ්ටිරාගයෙක්, දෘෂ්ටිනන්‍දියෙක්, දෘෂ්ටිස්නේහයෙක්, දෘෂ්ටිමූර්‍ඡායෙක්, දෘෂ්ටිපිපාසායෙක්, දෘෂ්ටිපරිදාහයෙක්, දෘෂ්ටියෙහි ගැලීසිටීමෙක්, දෘෂ්ටිතෘෂ්ණායෙක් ඇද්ද, ඒ උපදී. මහණෙනි, මේ දෘෂ්ටියෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග-භවයෝග හා දෘෂ්ටියෝග යි.)
අවිද්‍යායෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ පරිදි නො දන්නා වූ ඔහුට ෂට්ස්පර්‍ශායතනයෙහි යම් අවිද්‍යායෙක් අඥානයෙක් ඇද් ද, ඒ අවිද්‍යාව උපදී. මහණෙනි, මේ අවිද්‍යායෝග යි කියනු ලැබේ. (කාමයෝග - භවයෝග - දෘෂ්ටියෝග - අවිද්‍යායෝග මෙසේ ය.)
කිලිටි කරණ, පුනර්‍භවය ඇති කරණ, දරථ සහිත දුක් උපදවන, මතු ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසල් දහමින් පිරිවැරුනේ වේ ද, එහෙයින් (හෙතෙම) අයෝගක්ඛේමී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර යොගයහ.
මහණෙනි, මේ සතර විසංයෝග කාරණයෝ ය. කවර සතරහ යත්: කාමයොගයෙන් විසංයෝගය, භවයොගයෙන් විසංයෝගය, දිට්ඨියෝගයෙන් විසංයෝගය, අවිජ්ජායෝගයෙන් විසංයෝග යි.
මහණෙනි, කාමයොගයෙන් විසංයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට කාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි ගැලීසිටීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ නූපදී. මහණෙනි, මේ කාමයෝග විසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග විසංයෝග යි.)