3. 3. 4. 5.
35. මහණෙනි, යම් පරිදි යම් කිසි හුයින් වියූ වස්ත්රයෝ ඇද්ද, ඒ පවුරු අතුරෙන් කේසකම්බල නිකෘෂ්ටය යි කියනු ලැබේ. මහණෙනි, කේසකම්බලය ශීතකාලයෙහි ශීතය, උෂ්ණකාලයෙහි උෂ්ණය, දුර්වර්ණය, දුර්ගන්ධය, දුඃඛස්පර්ශ ඇත්තේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහත් ශ්රමණප්රවාදයෝ ඇද්ද, ඔවුනතුරෙන් මක්ඛළීවාදය නිකෘෂ්ටය යි කියනු ලැබේ.
මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ මෙබඳු වාද ඇතියේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” යි කියා යි.
මහණෙනි, අතීතයෙහි යම් ම අර්හත් සම්යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද ඒ භගවත්හුදු කර්මවාද ඇතිවූහු ද ක්රියාවාද ඇතිවූහු ද වීර්ය්යවාද ඇතිවූහු ද වූහු. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරෙයි: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” කියා යි.
මහණෙනි, අනාගතයෙහි යම් ම අර්හත් සම්යක් සම්බුද්ධ කෙනෙක් වෙත් ද ඒ භගවත්හුදු කර්මවාද ඇත්තාහු ද වෙත්. ක්රියාවාද ඇත්තාහු ද වෙත්. වීර්ය්යවාද ඇත්තාහු ද වෙත්. මහණෙනි, මක්ඛලි මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරේ: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” කියා යි.
මහණෙනි, මෙකල අර්හත් සම්යක් සම්බුද්ධ වූ මමත් කර්මවාද ඇතියෙම් ද වෙමි. ක්රියාවාද ඇතියෙම් ද වෙමි. වීර්ය්යවාද ඇතියෙම් ද වෙමි. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ මාත් පිළිකෙව් කෙරෙයි: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” කියා යි.
මහණෙනි, යම් පරිදි හෝමුව කෙමිනක් බොහෝ මසුනට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්යසනය පිණිස ගිලවා තබා ද, මහණෙනි, එපරිදි ම මක්ඛලී මෝඝපුරුෂයා බොහෝ සත්ත්වයන්ට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්යසනය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනක් වැන්න.
3. 3. 4. 6.
36. මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්රද්ධාසම්පදාය, ශීලසම්පදාය, ප්රඥාසම්පදා යි.
මහණෙනි, මේ තුන් සම්පත්හු යි.
3. 3. 4. 7.
37. මහණෙනි, මේ වෘද්ධීහු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්රද්ධාවෘද්ධිය, ශීලවෘද්ධිය, ප්රඥාවෘද්ධි යි.
මහණෙනි, මේ තුන් වෘද්ධීහු යි.
3. 3. 4. 8.
38. මහණෙනි, තුන් අස්ගුණ්ඩයන් (පොව්වන්) දෙසමි. තුන් පුරිස්ගුණ්ඩයනුදු (පොව්වනුදු) දෙසමි. ඒ අසව ...
මහණෙනි, තුන් අස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ තුන් අස්ගුණ්ඩයෝ යි.
මහණෙනි, තුන් පුරිස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, කෙසේ නම් පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වේ ද, වර්ණසම්පන්න නො වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛසමුදය” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛනිරෝධය” යි ඇති සැටියෙන් දනී. “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාය” යි ඇතිසැටියෙන් දනී. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්රශ්න විචාරණ ලදුයේ අවසාදනය කෙරෙයි (පසුබසී.) නොවිසඳයි. මේ ඔහුගේ වර්ණය නොවෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි.