3. 3. 3. 7.
[සැවැත්නිදාන යි]
27. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹ සිටුනා මාගම් භූයෝභාවයෙන් දක්මි.
වහන්ස, කෙතෙක් දහමින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹේ ද?
අනුරුද්ධය, දහම් තුණෙකින් සමන්‍වාගත වූ මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.
කවර දහම් තුණෙකින් යත්:
අනුරුද්ධය, මෙ ලොව මාගම පෙරවරු වේලෙහි මසුරුමලින් මඩනා ලද සිතින් ගෙහි වෙසෙයි. මධ්‍යාහ්න වේලෙහි ඊර්‍ෂ්‍යායෙන් මැඩුනු සිතින් ගෙහි වෙසෙයි. සවස් වේලෙහි කාමරාගයෙන් මැඩුනු සිතින් ගෙහි වෙසේ.
අනුරුද්ධය, මේ තුන් දහමින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.
3. 3. 3. 8.
28. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටට හේතු වූ සිහි කළ යුතු වූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළ කළහ.
කියග ශාරිපුත්‍රයෙනි, මම පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි. මා විසින් වීර්‍ය්‍යය ඇරඹින. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. මුෂිත නොවූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය. එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නොමිදෙයි.
[සැරියුත්:]
කියග අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මෙසේ මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි’ යි. මේ තොපගේ මානය යි.
ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලදී. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. ප්‍රමුෂිත නො වූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය’ යි. මේ තොපගේ උද්ධතභාවය වේ.
ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙබඳු සිතෙක් වේ ද: ‘එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙයි’යි. මේ තොපගේ කුකුසෙකි.
ඇවැත් අනුරුද්ධ තෙරණුවෝ මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවත් මනාම ය.
එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පසුකලෙක මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවූහ. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වූවාහු වෙන්වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය ඇත්තාහු කායජීවිත නිරපේක්‍ෂව වසන්නාහු යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙයින් නික්ම පැවිද්දට යෙත් ද, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය අවසන් වූ ඒ අර්‍හත්ත්‍වය මඳ කලෙකින් ම ඉහාත්ම යෙහි ම තුමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ විසූහ. “ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවින. සිවුමග කිස කරණ ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස මින් බැහැර දැයෙක් නැති” යි දත්හ. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් අන්‍යතර කෙනෙක් ද වූහ.