3. 3. 3. 8.
28. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටට හේතු වූ සිහි කළ යුතු වූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළ කළහ.
කියග ශාරිපුත්‍රයෙනි, මම පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි. මා විසින් වීර්‍ය්‍යය ඇරඹින. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. මුෂිත නොවූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය. එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නොමිදෙයි.
[සැරියුත්:]
කියග අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මෙසේ මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි’ යි. මේ තොපගේ මානය යි.
ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලදී. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. ප්‍රමුෂිත නො වූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය’ යි. මේ තොපගේ උද්ධතභාවය වේ.
ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙබඳු සිතෙක් වේ ද: ‘එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙයි’යි. මේ තොපගේ කුකුසෙකි.
ඇවැත් අනුරුද්ධ තෙරණුවෝ මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවත් මනාම ය.
එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පසුකලෙක මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවූහ. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වූවාහු වෙන්වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය ඇත්තාහු කායජීවිත නිරපේක්‍ෂව වසන්නාහු යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙයින් නික්ම පැවිද්දට යෙත් ද, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය අවසන් වූ ඒ අර්‍හත්ත්‍වය මඳ කලෙකින් ම ඉහාත්ම යෙහි ම තුමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ විසූහ. “ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවින. සිවුමග කිස කරණ ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස මින් බැහැර දැයෙක් නැති” යි දත්හ. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් අන්‍යතර කෙනෙක් ද වූහ.
3. 3. 3. 9.
29. මහණෙනි, මේ කාරණයෝ තුන් දෙනෙක් පිළිසන්ව වහත්. විවෘත ව නො වහත්.
කවර තුන්දෙනෙක යත්:
මහණෙනි, මාගම පිළිසන්ව වහයි. විවෘතව නොවහයි. මහණෙනි, බමුණන්ගේ වේදමන්ත්‍රයෝ පිළිසන්ව වහත්. විවෘතව නො වහත්. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය පිළිසන්ව වහයි. විවෘතව නොවහයි.
මහණෙනි, මේ කාරණයෝ තුන් දෙන පිළිසන්ව වහත්. විවෘතව නො වහත්.
මහණෙනි, මේ කාරණයෝ තිදෙනෙක් විවෘතව බබලත්, පිළිසන්ව නො බබලත්.
කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, සඳමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, හිරුමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍මවිනය විවෘත ව බබලයි. පිළිසන් ව නො බබලයි.
මහණෙනි, මේ කාරණයෝ තිදෙන විවෘතව බබලත්. පිළිසන් ව නො බබලත්.
3. 3. 3. 10.
30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමානය හ.
කවර තුන් දෙනෙක යත්: ශිලාලේඛාවට බඳු පුද්ගලය, පෘථිවිලෙඛාවට බඳු පුද්ගලය, ජලලේඛාවට බඳු පුද්ගල යි.
මහණෙනි, ශිලාලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ කෝපය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, යම් පරිදි ශිලාලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නොනස්නී ද, චිරස්ථායිනී වේ ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මේ ශිලාලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, පෘථිවිලෙඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය නිරතුරු ලුහු බැඳ නො වැටේ. මහණෙනි, යම් පරිදි පොළොවෙහි ඇඳි ලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නස්නී ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහු බැඳ නො වැටෙයි. මහණෙනි, මේ පෘථිවිලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.