3. 3. 3. 6.
[බරණැස්නිදාන යි]
26. එක් කලෙක භාග්යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිණ්ඩපාතයට වැඩිසේක. භාග්යවතුන් වහන්සේ ගෙරින් විකොටගන්නා තැනෙක වූ පුලිල ගසක් සමීපයෙහි පිඬුපිණිස වඩනා සේක් ධ්යානසුඛ නැතියෙන් අල්පාශ වූ, කාමගුණ සුඛවශයෙන් බාහිරාශා ඇති, එයින් ම මුළා සිහි ඇති, සම්ප්රඥාන රහිත, සමාහිත නොවූ, විභ්රාන්ත සිත් ඇති, නොදැමුනු ඉඳුරන් ඇති මහණක්හු දුටුසේක. ඒ මහණහු දැක තෙල වදාළහ:
මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව. මහණ ඉඳුල් කළ, ක්රෝධ සඞ්ඛ්යාත ආමගන්ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහුබැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ.
එක්බිති ඒ මහණ භාග්යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණියේය. එක්බිති භාග්යවතුන් වහන්සේ බරණැස පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළකුනු සේක් භික්ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිඬු පිණිස පිවිසිනිමි. මහණෙනි, මම ගෝයෝගපලක්ෂ මූලයෙහි දී පිඬු පිණිස හැසිරෙන්නෙම් ධ්යානාභාවයෙන් අල්පාශා ඇති, කාමගුණවශයෙන් බාහිරාශා ඇති, මුළා සිහි ඇත, සම්ප්රඥාන නැති, සමාධිත නො වූ, විභ්රාන්ත සිත් ඇති, ප්රාකෘත ඉන්ද්රිය ඇති එක්තරා මහණක්හු දිටිමි. දැක ඒ මහණහට තෙල බස කීමි:
“මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව, මහණ, ඉඳුල් කළ, ක්රෝධ සඞ්ඛ්යාත ආමගන්ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහු බැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ” යි කියා යි.
මහණෙනි, එක්බිති ඒ මහණ මා විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණින.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: වහන්ස, ‘ඉඳුල’ යනු කිම? ‘ආමගන්ධ’ යනු කිම? ‘මැසි’ යනු කිම?
මහණ, අභිධ්යාව ඉඳුල. ව්යාපාදය ආමගන්ධය. පාපක අකුශල විතර්කයෝ මැස්සහ. මහණ, ඉඳුල් කළ ක්රෝධ සඞ්ඛ්යාත ආමගන්ධයෙහි තෙත් වූ ඒ ආත්මය “කෙලෙස්මැස්සන් නැගී ලුහු නො බඳිති යි ලුහු බැඳ නො කති යි” යන තෙල කරුණ ඒකාන්තයෙන් සිදු නොවෙයි.
5. චක්ෂුශ්ශ්රෝත දෙක්හි කළ ගෝපන නැති, ඉන්ද්රියයෙහි අසංවෘත වූ මහණහු රාගනිඃශ්රිත සංකල්පාඛ්යා මක්ෂිකාවෝ ලුහු බැඳ ගණිත්.
6. ක්ලේශාඛ්ය ආමගන්ධයෙහි තෙත් ව සිටුනා එයින් ම ඉඳුල් කළ මහණ නිවණින් විදුර වෙයි. සංසාරදුඃඛයට ම භාගී වෙයි.
7. ගමෙහි වේවයි, නොහොත් වෙනෙහි වේවයි, තමහට සමයක්හු නොලැබ දුෂ්ප්රාඥ වූ අඳබල් මහණ කෙලෙස්මැස්සන් විසින් පුරස්කෘත ව යෙයි.
8. යම් මහණහු ශීලසම්පන්න වෙත් ද, ප්රඥායෙන් ක්ලේශව්යපශමයෙහි නිරත වෙත් ද, උපශාන්ත වූ ඒ මහණහු කෙලෙස්මැස්සන් නසා පියා සුවසේ හොවිත්.
3. 3. 3. 7.
[සැවැත්නිදාන යි]
27. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹ සිටුනා මාගම් භූයෝභාවයෙන් දක්මි.
වහන්ස, කෙතෙක් දහමින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹේ ද?
අනුරුද්ධය, දහම් තුණෙකින් සමන්වාගත වූ මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.