3. 3. 3. 2.
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙති” යී මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: නිෂ්කාමවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් හැරපියත්.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළෙමින් වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කෙරෙති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නොකරන්නාහු ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසුය. මෙනෙහි කරනු කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ කරුණු තුණ හැරපියත්.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: නිෂ්කාමතාවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නො කරන්නාහු, ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසු වේ. මෙනෙහි කරනු කැලම පහසු වේ. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
3. 3. 3. 3.
[විසාලානිදාන යි]
23. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක.
මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි.
මහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, නෙරලීම් රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය.
මහණෙනි, “භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය හ, ධර්‍මය ස්වාඛ්‍යාතය, සඟහු සුප්‍රතිපන්නයහ”යි තොපට තුෂ්ටියට නිසිය. සතුටු සිත් ඇති සෙයට නිසිය. සෞමනස්‍යයට නිසිය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ සියමනා මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව තුස්නවුහු. මේ වෙය්‍යාකරණය වදාරණු ලබත් ම සහස්‍රී ලෝකධාතුව කම්පිත විය.
3. 3. 3. 4.
[කිඹුල්වත්නිදාන යි:]
24. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරණ සේක් කිඹුල්වත් නුවර කරා වැඩිසේක්. මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩිසේක් ල යි ඇසී ය. එක්බිති මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි මහානාම සැහැරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහානාමය, යව, අද එකරැයක් අපි යම් තැනෙක වසමෝ ද කිඹුල්වතෙහි එබඳු ආවස්ථයක් දන යි. වහන්ස, එසේය යි මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට පිළිණකොට කිඹුල්වතට වැද මුළු කිඹුල්වත ඔබමොබ ඇවිදුනේ භාග්‍යවතුන් වහන්සේ යම් ආවස්ථයෙක් එක රැයක් වසන සේක් ද එබඳු ආවස්ථයක් කිඹුල්වතෙහි නො දිට.
එක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේය: වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක එක්රැයක් වසනසේක් ද, එබඳු ආවස්ථයෙක් කිඹුල්වතෙහි නැත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පැරණි සබ්‍රම්සරයා භරණ්ඩුකාලාම තව්සා ඇත. භාග්‍යවතුන් වහන්සේ අද ඔහුගේ අසපුවෙහි එක් රැයක් වසන සේක්වා.