3. 3. 3. 3.
[විසාලානිදාන යි]
23. එක් කලෙක භාග්යවතුන් වහන්සේ විසාලා මහනුවර ගෝතමක චෛත්යයෙහි වැඩවසන සේක. එකල භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක.
මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්රත්යනීකධර්මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි.
මහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්රත්යනීකධර්මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, නෙරලීම් රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය.
මහණෙනි, “භාග්යවතුන් වහන්සේ සම්යක් සම්බුද්ධය හ, ධර්මය ස්වාඛ්යාතය, සඟහු සුප්රතිපන්නයහ”යි තොපට තුෂ්ටියට නිසිය. සතුටු සිත් ඇති සෙයට නිසිය. සෞමනස්යයට නිසිය.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ සියමනා මහණහු භාග්යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව තුස්නවුහු. මේ වෙය්යාකරණය වදාරණු ලබත් ම සහස්රී ලෝකධාතුව කම්පිත විය.
3. 3. 3. 4.
[කිඹුල්වත්නිදාන යි:]
24. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරණ සේක් කිඹුල්වත් නුවර කරා වැඩිසේක්. මහානාම ශාක්ය භාග්යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩිසේක් ල යි ඇසී ය. එක්බිති මහානාම ශාක්ය භාග්යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි මහානාම සැහැරජුට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහානාමය, යව, අද එකරැයක් අපි යම් තැනෙක වසමෝ ද කිඹුල්වතෙහි එබඳු ආවස්ථයක් දන යි. වහන්ස, එසේය යි මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේට පිළිණකොට කිඹුල්වතට වැද මුළු කිඹුල්වත ඔබමොබ ඇවිදුනේ භාග්යවතුන් වහන්සේ යම් ආවස්ථයෙක් එක රැයක් වසන සේක් ද එබඳු ආවස්ථයක් කිඹුල්වතෙහි නො දිට.
එක්බිති මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට තෙල සැළකෙළේය: වහන්ස, අද භාග්යවතුන් වහන්සේ යම් තැනෙක එක්රැයක් වසනසේක් ද, එබඳු ආවස්ථයෙක් කිඹුල්වතෙහි නැත. වහන්ස, භාග්යවතුන් වහන්සේගේ පැරණි සබ්රම්සරයා භරණ්ඩුකාලාම තව්සා ඇත. භාග්යවතුන් වහන්සේ අද ඔහුගේ අසපුවෙහි එක් රැයක් වසන සේක්වා.
මහානාමය, යව පසතරණක් පන්ව යි. “වහන්ස, එසේය” යි මහානාම සැහැරජ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භරණ්ඩුකාලාම තව්සාගේ අසපුවට එළඹියේය. එළඹ පසතරණක් පන්වා පා දෝනට දිය එළවා තබා භාග්යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය.
වහන්ස, පසතරණ ඇතිරින. පාදෝනට දිය එළවා තැබින. වහන්ස, භාග්යවතුන් වහන්සේ දැන් යම් කිසෙක් ඇද්ද, එයට කල් දන්නේ මැනැවැයි.
එක්බිති භාග්යවතුන් වහන්සේ භරණ්ඩුකාලාමයාගේ අසපුවට වැඩිසේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්යවතුන් වහන්සේ පා දෙවූ සේක.
එක්බිති මහානාම ශාක්යයාහට තෙල සිත් වීය: දැන් භාග්යවතුන් වහන්සේ පර්ය්යුපාසනයට අකාලය. භාග්යවතුන් වහන්සේ ක්ලාන්තයහ. “දැන් මම හෙට භාග්යවතුන් වහන්සේ උපාසනය කරමි” යි භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
එක්බිති මහානාම ශාක්ය ඒ රැය ඉක්මෙන් භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්යරජුට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහානාමය, ලෝකයෙහි මේ ශාස්තෲහු තුන් දෙනෙක් විද්යාමානයහ.
කවර තුන් දෙනෙක යත්:
මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ප්රහාණය පණවත්. රූපයන්ගේ ප්රහාණය නො පණවත්. වේදනාවන්ගේ ප්රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්රහාණය පණවත්. රූපයන්ගේ ද ප්රහාණය පණවත්. වේදනාවන්ගේ ප්රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්රහාණය පණවත්. රූපයන්ගේ ද ප්රහාණය පණවත්. වේදනාවන්ගේ ද ප්රහාණය පණවත්. මහානාමය, මේ ශාස්තෲහු තුන් දෙනා ලෝකයෙහි විද්යාමානයහ.
මහානාමය, මේ තුන් ශාස්තෘවරුන්ගේ නිෂ්ඨාව එකෙක් වේ ද? නොහොත් බොහෝ නිෂ්ඨාවෝ ඇත්ද?
මෙසේ වදාළ කල්හි භරණ්ඩුකාලාම තවුස් මහානාම ශාක්යයාට තෙල කිය: “මහානාමය, එකැයි කියව” යි.
මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ මහානාම ශාක්යාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.
දෙවන වටත් ... තුන් වන වටත් භරණ්ඩුකාලාම තව්සා මහානාම ශාක්යායාට තෙල කීය. “මහානාම, එකැ යි කියවයි.” තුන්වන වටත් භාග්යවතුන් වහන්සේ මහානාම ශාක්යයාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.