3. 3. 3. 1.
[කුසිනාරානිදාන යි]
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වනලැහැබෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ...
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙණ වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවස වියයුතු බොජ සඳහා බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමැති වන මහණ ඉවසයි. හේ එරැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා මොනොවට සතපනේය. මොනොවට පවරවනේය” කියා යි මෙසේ ද ඔහුට සිතෙක් වෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහිදු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරවා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත වූයේ මූර්ඡිතවූයේ තෘෂ්ණා විසින් ගිලගත්තේ ආදීනව නො දක්නා සුල්ලේ නිස්සරණප්‍රඥා නැත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි කාමවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. ව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. විහිංසාවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵලය යි නො කියමි. ඒ කවරහෙයින යත්: මහණෙනි, ඒ මහණ පමාවූයේ වෙසේ. එහෙයිනි.
මහණෙනි, මෙසස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවසට බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමති වන මහණ ඉවසයි. ඒ මහණ ඒ රැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරවයි. ඔහුට මෙබඳු සිතෙක් නොවෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපනේය. මොනොවට පවරවනේය” කියා යි. ඔහුට මෙබඳු සිතෙක් ද නොවෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහි දු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය ග්‍රථිත නොවූයේ මූර්ඡිත නොවූයේ නොගිලගත්තේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි නිෂ්කාමවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. අව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. අවිහිංසාවිතර්‍කය ද විතර්‍කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵල ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ අප්‍රමාද විහරණ ඇතියේ වෙසෙයි.
3. 3. 3. 2.
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙති” යී මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: නිෂ්කාමවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් හැරපියත්.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
මහණෙනි, යම් දිගෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු විවාදයට වැදුනාහු උනුන් මුවසැතින් පෙළෙමින් වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග මෙනෙහි කරන්නට ද පහසු නොවේ. යන්නට කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කෙරෙති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නොකරන්නාහු ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසුය. මෙනෙහි කරනු කැලම ය. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුණක් හැරපියති. කරුණු තුණක් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.
කවර කරුණු තුණක් හැරපියත් ද යත්: කාමවිතර්‍කය, ව්‍යාපාදවිතර්‍කය, විහිංසාවිතර්‍කය යන මේ කරුණු තුණ හැරපියත්.
කවර කරුණු තුණක් බහුල වශයෙන් කෙරෙත් ද යත්: නිෂ්කාමතාවිතර්‍කය, අව්‍යාපාදවිතර්‍කය, අවිහිංසාවිතර්‍කය යන මේ තුන් දහම් බහුල වශයෙන් කරත්.
මහණෙනි, යම් දිගෙක මහණහු සමගි වූවාහු තුස්නාහු විවාද නො කරන්නාහු, ක්‍ෂීරෝදකීභූත වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මට තෙල දිග යන්නට ද පහසු වේ. මෙනෙහි කරනු කැලම පහසු වේ. “ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් මේ තුන් දහම් හැරපියත්. මේ තුන් දහම් බහුල වශයෙන් කරති” යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.