3. 3. 2. 8.
18. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් මුසවායෙන් දුරු වූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි මොහු තුන් වැදෑරුම් ශුචිභාවයෝ යි.
3. 3. 2. 9.
19. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ, අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමානවූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය නැතැ’යි දනී. යම් පරිදි නූපන් කාමච්ඡන්‍දයාගේ උත්පාදයෙක් වේ ද, එ ද දනී. යම් සෙයෙකින් උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත කාමච්ඡන්‍දයාගේ මතුයෙහි නූපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ව්‍යාපාදයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ව්‍යාපාදයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ථීනමිද්ධයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ථීනමිද්ධයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය’මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය නැතැ’යි දනී. යම් පරිදි නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත උද්ධච්චකුක්කුච්චයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම් පරිදි නූපන් විචිකිච්ඡාවගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් විචිකිච්ඡාවගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත විචිකිච්ඡාවගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.
මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.