3. 3. 2. 6.
16. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
මහණෙනි, ශීලවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. ... සම්ඵප්පලාප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, චිත්තවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිජ්ඣාබහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දාන විපාක නැත, යාගවිපාක නැත, ... මෙ ලොවත් පරලොවත් තමන් දැන විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දෙසන මනා ගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
මහණෙනි, යම් පරිදි ෂඩංශ ඇති පසැට උඩ ලූයේ යම් යම් ලෙසෙකින් සිටුනේ ද, මොනොවට සිටුනේ ම සිටී. මහණෙනි, එපරිදි ම ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
මහණෙනි, මේ තුන් විපත්තීහු යි.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
මහණෙනි, ශීලසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
මහණෙනි, චිත්තසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, මෙලෝ පරලෝ තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරණ මනාගති ඇති මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත” ය අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.