3. 3. 2. 5.
15. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
මහණෙනි, ශීලවිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. පරුස්බස් ඇතියේ වෙයි. සමඵප්පලප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, චිත්තවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, යාගවිපාක නැත, ප්‍රාඝුණසත්කාරවිපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මාතෘඋපස්ථාන විපාක නැත, පිතෘඋපස්ථාන විපාක නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත. මෙලෝ පරලෝ තමන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනය හ.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
මහණෙනි, ශීලසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණුබසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
මහණෙනි, චිත්තසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැත්තේ වේ. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, ප්‍රාඝුණ සත්කාරවිපාක ඇත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මවුවටනෙහි විපාක ඇත, පියවටනෙහි විපාක ඇත, ච්‍යුත වැ පහළවන සත්ත්‍වයෝ ඇත. මෙලෝ පරලෝ තමන් දැන පසක් කොට දෙසන සම්‍යග්ගත වූ (මනාගති ඇති) මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇතැ”යි අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ශීලසම්පත් හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි මනා ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, චිත්තසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්.
මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනයහ.
3. 3. 2. 6.
16. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
මහණෙනි, ශීලවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. ... සම්ඵප්පලාප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, චිත්තවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිජ්ඣාබහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.