3. 3. 2. 4.
14. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන් අස්තඞ්ගම කිරීමෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් “ආකාශය අනන්තය” යි ගෙණ ආකාශානාන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණෙයි. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
මහණෙනි, ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් විසිදහසෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා සමග මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණ යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආකාශානාන්ත්‍යායතනය ඉක්ම ගෙණ “විඥානය අනන්තය” යි කොට විඥානන්ත්‍යායතනයට එළඹ වෙසේ. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරේ. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
මහණෙනි, විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සතළිස්දහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණය යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්ම “කිසිත් නැතැ” යි ගෙණ ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ සහභාවයට යෙයි.
මහණෙනි, ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සැටදහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.