3. 3. 2. 3.
13. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්: සුවසේ මිනිය හැකි පුද්ගලය, දුකසේ මිනිය හැකි පුද්ගලය, නොමිනිය හැකි පුද්ගලයි.
මහණෙනි, සුවසේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් උද්ධත වේ. ඔසොවා ලූ මානනල ඇතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය ඇතියේ වෙයි. දොඩමලු වෙයි. අසංයත වචන ඇතියේ වෙයි. මුළා සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන නැත්තේ වෙයි. චිතෛතකාග්‍රතා නැතියේ වෙයි. භ්‍රාන්ත සිත් ඇතියේ වෙයි. විවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල සුප්‍රමේය (=සුවසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
මහණෙනි, දුක සේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලක් අනුද්ධත වෙයි. ඔසොවා ලූ මානනල නැතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය නැතියේ වෙයි. දොඩමලු නො වූයේ වෙයි. අසංයත වචන නැතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන ඇතියේ වෙයි. සමාධිගත වූයේ වෙයි. ඒකාග්‍ර සිත් ඇතියේ වෙයි. සංවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල දුෂ්ප්‍රමේය (=දුකසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
මහණෙනි, අප්‍රමේය පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙසස්නෙහි අර්‍හත්ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ. මහණෙනි, මේ පුද්ගල අප්‍රමේය (නොමිනිය හැකි) පුද්ගලය යි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
3. 3. 2. 4.
14. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන් අස්තඞ්ගම කිරීමෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් “ආකාශය අනන්තය” යි ගෙණ ආකාශානාන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණෙයි. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
මහණෙනි, ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් විසිදහසෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා සමග මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණ යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආකාශානාන්ත්‍යායතනය ඉක්ම ගෙණ “විඥානය අනන්තය” යි කොට විඥානන්ත්‍යායතනයට එළඹ වෙසේ. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරේ. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
මහණෙනි, විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සතළිස්දහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණය යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්ම “කිසිත් නැතැ” යි ගෙණ ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ සහභාවයට යෙයි.
මහණෙනි, ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සැටදහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.