3. 2. 5. 7.
48. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වූ රාජකීය භද්ර අශ්වාජානේය රාජාර්හ වෙයි. රාජභෝග්ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙලොව රජුගේ භද්ර ආජානේය අශ්ව වර්ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්වාගත රාජකීය භද්ර අශ්වාජානේය රාජාර්හ වෙයි. රාජභෝග්ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
මහණෙනි, එපරිදි ම ධර්ම තුණෙකින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්වලෝකයට අසදෘශ පුණ්යක්ෂේත්ර ද වෙයි.
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ වර්ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් වර්ණසම්පන්න වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්ණසම්පන්න වෙයි:
මහණෙනි, කෙසේ මහණ බලසම්පන්න වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඇරඹූ වැර ඇතියේ ... ඥානස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්රම ඇත්තේ කුසල්දහම්හි නොබහා තැබූ ධුර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ ජවසම්පන්න වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවයන්ගේ ක්ෂයයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
මහණෙනි, මේ කරුණු තුණින් සමන්වාගත වූ මහණ ආහුතිසඞ්ඛ්යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්වලෝකයට අසදෘශ පුණ්යක්ෂේත්ර ද වෙයි.
3. 2. 5. 8.
49. මහණෙනි, නව්ය වූත් වාකමය වස්ත්රය දුර්වර්ණ ද වේ. දුඃඛස්පර්ශ ද වේ. අල්පාර්ඝ ද වේ. මහණෙනි, මධ්යම වූත් වාකමය වස්ත්රය දුර්වර්ණ ද වේ. දුඃඛස්පර්ශ ද වේ. අල්පාර්ඝ ද වේ. මහණෙනි, ජීර්ණවූත් වාකමය වස්ත්රය දුර්වර්ණ ද වේ. දුඃඛස්පර්ශ ද වේ. අල්පාර්ඝ ද වේ.
මහණෙනි, ජීර්ණ වූත් වාකමය වස්ත්රය ඉකිලි පිස්නක් හෝ කෙරෙත්. එය කසළගොඩෙහි හෝ බහත්.
මහණෙනි, එපරිදි ම නව්ය වූත් මහණ දුසිල් වේ ද, පාපස්වභාව ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්වර්ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්රය දුර්වර්ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්ය්යුපාසන කෙරෙත් ද, දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්ඝ රාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්රය දුඃඛස්පර්ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ නො වේ. මෙය ඔහුගේ අල්පාර්ඝතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්රය අල්පාර්ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මහණෙනි, මධ්යම වූත් මහණ දුසිල් වේ ද ... මහණෙනි, ස්ථවිර වූත් මහණ දුසිල් වේ ද, පවිටු සැහැවි ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්වර්ණතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්රය දුර්වර්ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්ය්යුපාසන කෙරෙත් ද, ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්රය දුඃඛස්පර්ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ ද නො වේ. මේ ඔහුගේ අල්පාර්ඝතායෙහිලා වදාරමි: මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්රය අල්පාර්ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මහණෙනි, මෙබඳු වූ මේ ස්ථවිර මහණ සඞ්ඝමධ්යයෙහි බෙණේ නම්, සෙසු භික්ෂූහු ඔහුට මෙසේ කියත්: “බාල වූ අව්යක්ත වූ තාගේ භණිතයෙන් කීම? තොයිත් බිණිය යුත්තකු කොට හඟනෙහිදැ”යි? හේ කිපියේ නොසතුටු සිතැතියේ යම්බඳු වචනයක් නිසා සඟහු ඒ මහණ ඒ වාකමය වස්ත්රය කසළ ගොඩෙහි ලන්නාක් සෙයින් බැහැර ලත් ද, එබඳු වචන විහිදුනේ ය.
මහණෙනි, නවක වූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, මධ්යම වූත් කසීවත් ... මහණෙනි, ජීර්ණවූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, ජීර්ණ වූත් කසීවත් රුවන් හකුළා තබනුවක් හෝ කෙරෙත්. සුවඳ කරඬුවෙක හෝ එය බහත්.