3. 2. 4. 11.
[කොසොල්නිදාන යි]
41. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟුන් සමග සැරි සරණ සේක් කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමට වැඩි සේක. එහි කෝශලයන්ගේ ‘පඞ්කධා’ නම් නියම් ගමෙක් වේ ද ඒ ‘පඞ්කධා’ යෙහි වැඩ වෙසෙති.
එසමයෙහි කුසුබුගොතු නම් මහණ පඞ්කධායෙහි ආවාසික වෙයි. එකල්හි භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත්. කරුණු බැණ සමාදන් කරවත්. උත්සාහ දනවත්. පහදවත්.
ඉක්බිති කසුබුගොතු මහණහට භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ දනවත් ම පහදවත් ම අක්ෂාන්තිය වී මැ ය. නො සතුටෙක් වී ම ය. ‘මේ මහණ අත්යර්ත්ථයෙන් සියුම් සියුම් කොට බෙණේය’ යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහනුවර කරා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් සැරිසරණ සේක් රජගහනුවරට වැඩි සේක. එකල භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජිකුළු පවියෙහි වැඩ වසන සේක. ඉක්බිති, භාග්යවතුන් වහන්සේ නික්ම වඩුත් ම කසුබුගොතු මහණහට කුකුස් වී ම ය. විපිළිසර වී ම ය. “යම් බඳු මට භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම, උත්සාහ කරවත් ම පහදවත් ම මේ මහණ අත්යර්ත්ථයෙන් කරුණු බැණ කියති යි අක්ෂාන්තියෙක් වී ද, නො සතුටෙක් වී ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවේ. ඒ මට ඒකාන්තයෙන් අභාග්යයෙකි. ඒ මට ඒකාන්තයෙන් මනා භාග්යයෙක් නො වේ ය” යි.
“මම භාග්යවතුන් වහන්සේ කරා එළඹෙම් නම් එළඹ භාග්යවතුන් වහන්සේ වෙත වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු” යි.
ඉක්බිති කසුබුගොතු මහණ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙණ රජගහනුවර කරා එළඹියේ ය. පිළිවෙළින් රජගහනුවර ගිජුකුළු පවියෙහි භාග්යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කසුබු ගොතු මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
වහන්ස, එක් කලෙක භාග්යවතුන් වහන්සේ කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමෙක් වේ ද, එ ගම වැඩ වසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් මොනොවට දැක්වූ සේක, සමාදන් කරවූ සේක. උත්සාහවත් කරවූ සේක. පහදවා ලූ සේක. වහන්ස, භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම “මේ මහණ අත්යර්ත්ථයෙන් කරුණු බැණ කියත් ම ය” යි ඒ මට අක්ෂාන්තියෙක් නො සතුටෙක් වී ම ය. වහන්ස, ඉක්බිති භාග්යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහ නුවරට චාරිකායෙහි වැඩි සේක. වහන්ස, භාග්යවතුන් වහන්සේ නික්ම වඩුත් ම “භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්යර්ත්ථයෙන් කරුණු බැණ කියති’ යි යම් බඳු මට අක්ෂාන්තියෙක් නොසතුටෙක් වී ද, ඒ මට කුකුසෙක් වී ම ය. විප්රතීසාරයෙක් වී ම ය. මට ඒකාන්තයෙන් අලාභයෙක, මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් අභාග්යයෙක, මට ඒකාන්තයෙන් මනා භාග්යයෙක් නො වේ. මම භාග්යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භාග්යවතුන් වහන්සේ හමුයෙහි වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු!” යි.
වහන්ස, භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහවත් කරවත් ම පහදවත් ම “මේ මහණ අත්යර්ත්ථයෙන් කරුණු බැණ කියති” යි යම්බඳු මට අක්ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒ අපරාධය බාල බවට අනුරිවින් මූඪ බවට අනුරිවින් අකුශලයට අනුරිවින් මා අධිභවා ගියේ ය. වහන්ස, ඒ මාගේ වරද භාග්යවතුන් වහන්සේ ආයති සංවරය සඳහා වරද විසින් පිළිගන්නා සේක්වා.
කස්බ, මා ශික්ෂාපද ප්රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්යර්ත්ථයෙන් කරුණු බැණ සියුම් සියුම් කොට කියත් මැ ය’යි යම්බඳු තට අක්ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒකාන්තයෙන් ඒ වරද යම් පරිදි බාල වී නම් යම් පරිදි මූඪ වී නම් යම් පරිදි අකුශල වී නම් එපරිදි ම තා අධිභවා ගියේ ය.
කස්බ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධර්මානුරූප පරිදි ප්රතිකර්ම කෙරෙහි ද, තාගේ ඒ වරද අපි පිළිගණුම්හ. කස්බ, යමෙක් වරද වරද විසින් දැක ධර්මානුරූප පරිදි ප්රතිකර්ම කෙරේ නම්, ආයති සංවරයට පැමිණේ නම්, තෙල ප්රතිපත්තිය, ආර්ය විනයෙහි අභිවෘද්ධියෙක් ම ය.
කස්බ, ස්ථවිර භික්ෂුවෙක් වේ ද, හේ ශික්ෂාකාම නො වේ ද, ශික්ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්ෂාකාම නොවන යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුනුදු ශික්ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්ෂාකාම වූ යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුන්ගේ විද්යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා නම්, කස්බ, මෙබඳු වූ ඒ ස්ථවිර භික්ෂුහුගේ ගුණ මම නො කියමි.