3. 1. 3. 9.
29. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අන්ධ ය, එකැස් ඇත්තේ ය, දෑස් ඇත්තේ ය යි. මහණෙනි, අන්ධ පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයකුට යම්බඳු පැණැසෙකින් නොලත් භොග හෝ ලබන්නේ නම්, ලැබූ භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් නොවෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්රණීත දහම් දැනගන්නේ නම්, අන්යෝන්ය ප්රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් ඕහට නැත. මහණෙනි, මේ පුද්ගල අන්ධයා යි කියනු ලැබේ.
මහණෙනි, එකැස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයකුට යම් බඳු ඇසෙකින් ලබා නොගත් භෝග ලබා ගන්නේ නම්, ලබාගත් භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු නුවණැසෙක් ද වෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්රණීත ධර්මයන් දැනගන්නේ නම්, අන්යෝන්ය ප්රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට නො වේ. මහණෙනි, මේ පුද්ගල එකැස් පුඟුලාය යි කියනු ලැබේ.
මහණෙනි, දෑස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයකුට යම් බඳු වූ නුවණැසෙකින් නොලැබූ හෝ භෝගයන් ලබාගන්නේ නම් හෝ ලබාගත් භෝගයන් වඩා ගන්නේ නම් එබඳු නුවණැසෙක් වෙයි. යම් බඳු වූ නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්රණීත ධර්මයන් දැනගන්නේ නම්, අන්යෝන්ය ප්රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට වේ. මහණෙනි, මේ දෑස් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්යමාන වෙත්.
3. නට නුවණැස් ඇති අන්ධයාහට එබඳු භෝගයෝ නො වෙත්. පින් ද නොකරයි, දෙලොව්හි පරාජයග්රහණ වෙයි.
4. වැලිදු ශඨවැ සිටුනා හේ පින්පව් දෙකින් භෝගයන් සොයා ද, එබඳු වූ මේ අනෙක් එකැස් ඇති පුඟුලෙක් ද වදාරණ ලද්දේය.
5. කාමභෝගී වූ ඒ මිනිස් සොර රැවටිලි හා මුසවාය යන දෙකිනුදු භෝග රැස් කරන්නට දක්ෂයෙක් වේ. එකැස් ඇති හෙ මෙයින් නිරයට ගොස් වැනසෙයි.
6-7. දෑස් ඇත්තා වූ ශ්රේෂ්ඨ පුරුෂ පුද්ගලයෙක් ද වදාරණ ලද්දේය. ශ්රේෂ්ඨ සංකල්පනා ඇති විචිකිච්ඡාරහිත සිත් ඇති ඒ මනුෂ්යයා දැහැමින් ලත් භෝගයෙන් යුක්ත වූයේ උත්ථානවීර්ය්යයෙන් ලත් ධනය (මෙරමාහට) දෙයි. යම් තැනෙකට ගොස් නොසොස්නේ නම්, එබඳු සොඳුරු තැනට පැමිණෙයි.
8. අන්ධයා ද එකැස් ඇති පුද්ගලයා ද දුරින් දුරු කරන්නේය. ශ්රේෂ්ඨ වූ දෑස් ඇති පුරුෂ පුද්ගලයා සේවනය කරන්නේය යි.
3. 1. 3. 10.
30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අවකුජ්ජපඤ්ඤ පුද්ගලය, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගලය, පුථුපඤ්ඤ පුද්ගලයි.
මහණෙනි, අවකුජ්ජපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් භික්ෂූන් වෙත නිතර බණ ඇසීම පිණිස ආරාමයට යන්නේ වේ ද, භික්ෂූහු ඕහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්ත්ථ සහිත කොට ව්යඤ්ජන සහිත කොට කේවල සම්පූර්ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්රකාශ කරත්, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි. මැද මෙනෙහි නො කරයි, අග මෙනෙහි නො කරයි. ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ, මැද මෙනෙහි නො කෙරේ, අග මෙනෙහි නො කෙරේ. මහණෙනි, යම් පරිදි යටිකුරු කළ කළයෙක් වේ ද, වත් කරණ ලද ජලය පෙරළේ ද, නො නවත්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්ත්ථ සහිත කොට බ්යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්රකාශ කරත්. හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ම ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද; මහණෙනි, මේ අවකුජ්ජපඤ්ඤ පුද්ගලයා යි කියනු ලැබේ.
මහණෙනි, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්ෂූන් වෙත දහම් ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ, භික්ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්ත්ථ සහිත කොට බ්යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්ණ කොට ධර්මය දෙසත් ද, පිරිසිදු කොට බඹසර ප්රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ ද, මැද මෙනෙහි නො කෙරේ ද, අග මෙනෙහි නො කෙරේ ද. මහණෙනි, යම් පරිදි පුරුෂයකුගේ හිඟැ තල සහල් අත්වට ඩෙබර යන නොයෙක් කෑයුතු දෑ ගැවසුනේ වේ ද, හෙතෙම ඒ අස්නෙන් නැගී සිටුනේ ම සිහිමුළාවෙන් වම්හයි ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්ත්ථ සහිත කොට බ්යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්ණ කොට පිරිසිදු කොට බඹසර ප්රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ඒ කථාව පිළිබඳ මුල නො මෙනෙහි කෙරේ ද, මැද නොම මෙනෙහි කෙරේ ද, අග නොම මෙනෙහි කෙරේ ද,මහණෙනි, මේ උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල යි කියනු ලැබේ.