3. 1. 3. 10.
30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අවකුජ්ජපඤ්ඤ පුද්ගලය, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගලය, පුථුපඤ්ඤ පුද්ගලයි.
මහණෙනි, අවකුජ්ජපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත නිතර බණ ඇසීම පිණිස ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඕහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට කේවල සම්පූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත්, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි. මැද මෙනෙහි නො කරයි, අග මෙනෙහි නො කරයි. ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ, මැද මෙනෙහි නො කෙරේ, අග මෙනෙහි නො කෙරේ. මහණෙනි, යම් පරිදි යටිකුරු කළ කළයෙක් වේ ද, වත් කරණ ලද ජලය පෙරළේ ද, නො නවත්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ම ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කරයි ද, මැද මෙනෙහි නො කරයි ද, අග මෙනෙහි නො කරයි ද; මහණෙනි, මේ අවකුජ්ජපඤ්ඤ පුද්ගලයා යි කියනු ලැබේ.
මහණෙනි, උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත දහම් ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත් ද, පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථාව පිළිබඳ මුල මෙනෙහි නො කෙරේ ද, මැද මෙනෙහි නො කෙරේ ද, අග මෙනෙහි නො කෙරේ ද. මහණෙනි, යම් පරිදි පුරුෂයකුගේ හිඟැ තල සහල් අත්වට ඩෙබර යන නොයෙක් කෑයුතු දෑ ගැවසුනේ වේ ද, හෙතෙම ඒ අස්නෙන් නැගී සිටුනේ ම සිහිමුළාවෙන් වම්හයි ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට දම් දෙසත් ද, අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කරත් ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ ද, මැදත් මෙනෙහි කෙරේ ද, අගත් මෙනෙහි කෙරේ ද, ඒ අස්නෙන් නැඟී සිටියේ ඒ කථාව පිළිබඳ මුල නො මෙනෙහි කෙරේ ද, මැද නොම මෙනෙහි කෙරේ ද, අග නොම මෙනෙහි කෙරේ ද,මහණෙනි, මේ උච්ඡඞ්ගපඤ්ඤ පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, පුථුපඤ්ඤ පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස ආරාමයට නිතර යන්නේ වේ. භික්‍ෂූහු ඔහුට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත්. පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත්. හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාව පිළිබඳ මුලත් මෙනෙහි කෙරේ, මැදත් මෙනෙහි කෙරේ, අගත් මෙනෙහි කෙරේ. ඒ අස්නෙන් නැඟීසිටියේත් ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරේ, මැදත් මෙනෙහි කෙරේ, අගත් මෙනෙහි කෙරේ. මහණෙනි, යම් පරිදි උඩුකුරු කළ කළයෙක් වේ ද, එහි වත් කරණ ලද දිය පිහිටා ද, පිටත නො ගැලේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුඟුලෙක් භික්‍ෂූන් වෙත බණ ඇසීම පිණිස නිතර ආරාමයට යන්නේ වේ ද, භික්‍ෂූහු ඔහුට මුල කලණ කොට මැද කලණ කොට අග කලණ කොට අර්‍ත්‍ථ සහිත කොට බ්‍යඤ්ජන සහිත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට ධර්‍මය දෙසත් ද, පිරිසිදු වූ බඹසර ප්‍රකාශ කරත් ද, හෙ ඒ අස්නේ හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කරයි ද, මැදත් මෙනෙහි කරයි ද, අගත් මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැඟී සිටියේත් ඒ කථායෙහි මුලත් මෙනෙහි කරයි ද, මැදත් මෙනෙහි කරයි ද, අගත් මෙනෙහි කරයි ද, මහණෙනි, මේ පුථුපඤ්ඤ පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.
9. විචක්‍ෂණ නුවූ ප්‍රඥා නැති, අවකුජ්ජපඤ්ඤ පුරුෂ තෙමේ ඉදින් භික්‍ෂූන් වෙත නිතර යන සුලු වේ ද-
10. එබඳු පුරුෂ කථායෙහි මුල ද මැද ද අග ද උගන්නට නොහැක්කේ ය. ඔහුට ප්‍රඥාව නැත් ද, එහෙයිනි.
11. ‘උච්ඡඞ්ගපඤ්ඤ’ පුරුෂ තෙමේ මෝහට වඩා ශ්‍රේෂ්ඨය යි කියනු ලැබේ. හෙතෙම ඉදින් නිතර භික්‍ෂූන් වෙත යන සුලු වේ ද-
12. එබඳු පුද්ගල ඒ ආසනයෙහි හුන්නේ ඒ කථායෙහි මුල ද මැද ද අග ද ඉගෙණ ව්‍යඤ්ජන ධරා නැගී සිටියේ ම නො දනී ද, ඔහු විසින් ගන්නා ලද්ද නැසෙයි.
13. ‘පුථුපඤ්ඤ’ පුරුෂ මොවුනට වඩා ශ්‍රේෂ්ඨය යි කියනු ලැබේ. ඉදින් හේ නිතර භික්‍ෂූන් වෙත යන සුලු වේ ද-
14. එබඳු පුද්ගල ඒ අස්නෙහි හුන්නේ ඒ කථායෙහි මුල ද මැද ද අග ද ඉගෙණ ව්‍යඤ්ජනය දරයි.
15. ශ්‍රේෂ්ඨසංකල්පනා ඇති විචිකිච්ඡා රහිත සිත් ඇති ධර්‍මානුධර්‍මයෙහි පිළිපන් මිනිස් ඒ දුක් කෙළවර කරන්නෙක් වන්නේය යි.
තෙවන පුඟුල් වග යි.