3. 1. 3. 7.
27. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, පිළිකුල් කටයුතු වූ නොසෙවිය යුතු වූ භජනය නොකටයුතු වූ පර්‍ය්‍යුපාසනය නොකටයුතු වූ පුඟුලෙක් ඇත. මහණෙනි, මැදහත්ව දැක්කයුතු, නො සෙවියයුතු භජනය නොකටයුතු පර්‍ය්‍යුපාසනය නොකටයුතු පුඟුලෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුඟුලෙක් ඇත.
මහණෙනි, ගැරැහිය යුතු නො සෙවියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹිය යුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දුශ්ශීල වූ පාපකස්වභාව ඇති අපවිත්‍ර වූ සැකෙන් සිහි කළයුතු හැසිරීම් ඇති පිළිසන්කමත් ඇති ශ්‍රමණප්‍රතිරූපක වූ, ශ්‍රමණයෙමී, පිළින කරණ, බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වූ, බ්‍රහ්මචාරීමී පිළින කරන, ඇතුළත දුගඳ වූ කෙලෙසුන් විසින් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇතියේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ පිළිකුල් කටයුතු නො සෙවියයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතුදු වැළිත් “පවිටු මිතුරන් ඇති පවිටුන් සහාය කොට ඇති පවිටුන් කෙරෙහි නැමෙන පුරුෂ පුද්ගලයෙකැ”යි ඔහුගේ ලාමක වූ කීර්ති ශබ්දය (අපකීර්තිය) උස්ව නගියි. මහණෙනි, අසුචියෙන් වැකුනු සර්‍පයා නොඩහතත් වැලි ඔහු (අසූචියෙන්) යම්සේ තවරා ද, මහණෙනි, එමෙන් ම මෙබඳු පුඟුලාගේ දෘෂ්ටානුගතියට නොපැමිණිය ද වැලි “මේ පුරුෂපුද්ගල පාපමිත්‍රයන් ඇතියෙක, පාප යහළුවන් ඇතියෙක, පාපයන් කෙරෙහි නැමුනෙකැ”යි ඔහුගේ අපකීර්ති ශබ්දය උස්ව නැඟෙයි. එහෙයින් මෙ බඳු වූ පුද්ගල පිළිකුල් කටයුතු වෙයි. සේවනය නොකටයුතු වෙයි. භජනය නොකටයුතු වෙයි. පර්‍ය්‍යුපාසනය නොකටයුතු වේ.
මහණෙනි, මැදහත් සේ දැක්කයුතු සේවනය නොකටයුතු භජනය නොකටයුතු පර්‍ය්‍යුපාසනය නොකටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුඟුලෙක් කිපෙනසුලු වූයේ වේ ද ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ පැරැණි වණෙක් යම් සේ වෙසෙසින් ලේ සැරව වගුරුවා ද, මහණෙනි, එසේ ම ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ තිඹිරිගිනිපෙණෙහෙල්ල වැඩිපමණින් “චිටි චිටි” යන අනුකරණ පවත්වා ද, මහණෙනි, එපරිද්දෙන් ම දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ අශුචිවළ යම්සේ වෙසෙසින් දුගඳ වහනය කෙරේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දැඩි ආයාසබහුල කොට ඇත්තේ මඳකුත් කියන ලද්දේ එහි ගැටේ ද, කිපේ ද, තදව සිටුනේ වේ ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නොකට යුත්තේ ය. කවර හෙයින යත්: වැලි මා හැවියහෙන්නේය, වැලි මට අසභ්‍ය බණනේය, මට අනර්‍ත්‍ථ ද කරන්නේය කියායි. එබැවින් මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නොකට යුත්තේ ය.
මහණෙනි, කවර පුද්ගලයෙක් සේවනය කටයුතු වේ ද, භජනය කටයුතු වේ ද, පර්‍ය්‍යුපාසනය කටයුතු වේ ද: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් කලණ දහම් ඇත්තේ සිල්වත් වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කට යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කට යුත්තේ ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතත් වැලි “මේ පුරුෂ පුද්ගල කලණ මිතුරන් ඇතියෙක, කලණ යහළුවන් ඇතියෙක, කලණ මිතුරන් කෙරෙහි නැමුනෙකැ” යි මෙසේ ඔහු ලකුණු කොට කලණ යස ගී උස්ව නැඟෙයි. එහෙයින් මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කටයුත්තේ ය. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
2. තමහට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසිකලෙකත් නො පිරිහෙන්නේ ය. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩි තැනැත්තකු භජනය කරන්නේ යි.
3. 1. 3. 8.
28. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: ගුථභාණීය, පුප්ඵභාණීය, මධුභාණීය යන මොහුයි.
මහණෙනි, ගුථභාණී පුද්ගල තෙමේ කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට හමියට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ නොදන්නේ හෝ ‘දන්මි’යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’ යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’ යි කියයි. දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට ගෙණ හෝ මෙරමා හේතු කොට ගෙණ හෝ මඳ ආමිෂයක් හේතු කොට ගෙණ හෝ දැන දැන මුසවා බෙණේ ද, මහණෙනි, මේ ගුථභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
මහණෙනි, පුප්ඵභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් සභාවට ගියේ හෝ පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පෙරමුණට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ වේ ද, හෙ නො දන්නේ හෝ “නොදන්මි”යි කියයි. දන්නේ හෝ “දන්මි” යි කියයි. නො දක්නේ හෝ “නො දක්මි” යි කියයි. දක්නේ හෝ “දක්මි”යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ මඳ ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො බෙණේ ද, මහණෙනි, මේ පුප්ඵභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
මහණෙනි, මධුභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් පරුස්විසිකම් දුරු කොට කොරොස් බසින් වැළහුනේ වෙයි. යම් බසක් නිදොස් ද, කණට සුව එළවා ද, පෙම් දනවා ද, ල ගණී ද, තන්වැසි (සභ්‍ය) ද, බොහෝ දෙනාට කැමති ද, බොහෝ දෙනාට මනාප ද, එබඳු බස් කියන්නේ වේ ද, මහණෙනි, මේ මධුභාණී පුද්ගලයා යී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත් යයි.