3. 1. 3. 6.
26. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, නො එළඹියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹියයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්ය්යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුතු පර්ය්යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත.
මහණෙනි, සේවනය නො කටයුතු භජනය නො කටයුතු පර්ය්යුපාසනය නො කටයුතු පුද්ගලයා කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් (තමහට) හීන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය නො කටයුතුය. භජනය නො කටයුතුය. පර්ය්යුපාසනය නො කටයුතුය. දයාව හැරයි, අනුකම්පාව හැරයි.
මහණෙනි, සේවනය කටයුතු, භජනය කටයුතු, පර්ය්යුපාසනය කටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් (තමහට) සමාන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුතුය. භජනය කටයුතුය. පර්ය්යුපාසනය කටයුතු ය. ඒ කවර හෙයින යත්: ශීලයෙන් සමාන බවට ගියා වූ ම අපගේ ශීල කථාව ද වෙයි, අපගේ ඒ කථාව ද පවත්නී වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. සමාධියෙන් සමාන බවට ගියා වූ ම අපගේ සමාධිකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. ප්රඥායෙන් සමාන බවට ගියා වූ ම අපගේ ප්රඥාකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේ ය. පර්ය්යුපාසනය කටයුත්තේ ය.
මහණෙනි, කවර පුද්ගලයෙක් සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේ වේ ද, භජනය කටයුත්තේ වේ ද, පර්ය්යුපාසනය කටයුත්තේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් (තමහට) වැඩි තරම් වේ ද, මහණෙනි, මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේය. භජනය කටයුත්තේ ය. පර්ය්යුපාසනය කටයුත්තේය. ඒ කවර හෙයින යත්: මෙසේ නො පිරිපුන් හෝ සිල්කඳ පුරමි. පිරිපුන් හෝ සිල්කඳ ඒ ඒ තන්හි ප්රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ සමාධිස්කන්ධය පුරමි. පිරිපුන් හෝ සමාධිස්කන්ධය ඒ ඒ තන්හි ප්රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ ප්රඥාස්කන්ධය පුරමි. පිරිපුන් හෝ ප්රඥාස්කන්ධය ඒ ඒ තන්හි ප්රඥායෙන් අනුගන්මි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේය. පර්ය්යුපාසනය කටයුත්තේය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනා ලෝකයෙහි විද්යමාන වෙති.
1. තමනට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසි කලෙකත් නො පිරිහෙයි. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩිතැනැත්තකු භජනය කරන්නේ ය.
3. 1. 3. 7.
27. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, පිළිකුල් කටයුතු වූ නොසෙවිය යුතු වූ භජනය නොකටයුතු වූ පර්ය්යුපාසනය නොකටයුතු වූ පුඟුලෙක් ඇත. මහණෙනි, මැදහත්ව දැක්කයුතු, නො සෙවියයුතු භජනය නොකටයුතු පර්ය්යුපාසනය නොකටයුතු පුඟුලෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්ය්යුපාසනය කටයුතු පුඟුලෙක් ඇත.
මහණෙනි, ගැරැහිය යුතු නො සෙවියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹිය යුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දුශ්ශීල වූ පාපකස්වභාව ඇති අපවිත්ර වූ සැකෙන් සිහි කළයුතු හැසිරීම් ඇති පිළිසන්කමත් ඇති ශ්රමණප්රතිරූපක වූ, ශ්රමණයෙමී, පිළින කරණ, බ්රහ්මචාරී ප්රතිරූපක වූ, බ්රහ්මචාරීමී පිළින කරන, ඇතුළත දුගඳ වූ කෙලෙසුන් විසින් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇතියේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ පිළිකුල් කටයුතු නො සෙවියයුතු භජනය නො කටයුතු පර්ය්යුපාසනය නො කටයුතු වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතුදු වැළිත් “පවිටු මිතුරන් ඇති පවිටුන් සහාය කොට ඇති පවිටුන් කෙරෙහි නැමෙන පුරුෂ පුද්ගලයෙකැ”යි ඔහුගේ ලාමක වූ කීර්ති ශබ්දය (අපකීර්තිය) උස්ව නගියි. මහණෙනි, අසුචියෙන් වැකුනු සර්පයා නොඩහතත් වැලි ඔහු (අසූචියෙන්) යම්සේ තවරා ද, මහණෙනි, එමෙන් ම මෙබඳු පුඟුලාගේ දෘෂ්ටානුගතියට නොපැමිණිය ද වැලි “මේ පුරුෂපුද්ගල පාපමිත්රයන් ඇතියෙක, පාප යහළුවන් ඇතියෙක, පාපයන් කෙරෙහි නැමුනෙකැ”යි ඔහුගේ අපකීර්ති ශබ්දය උස්ව නැඟෙයි. එහෙයින් මෙ බඳු වූ පුද්ගල පිළිකුල් කටයුතු වෙයි. සේවනය නොකටයුතු වෙයි. භජනය නොකටයුතු වෙයි. පර්ය්යුපාසනය නොකටයුතු වේ.
මහණෙනි, මැදහත් සේ දැක්කයුතු සේවනය නොකටයුතු භජනය නොකටයුතු පර්ය්යුපාසනය නොකටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුඟුලෙක් කිපෙනසුලු වූයේ වේ ද ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ පැරැණි වණෙක් යම් සේ වෙසෙසින් ලේ සැරව වගුරුවා ද, මහණෙනි, එසේ ම ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ තිඹිරිගිනිපෙණෙහෙල්ල වැඩිපමණින් “චිටි චිටි” යන අනුකරණ පවත්වා ද, මහණෙනි, එපරිද්දෙන් ම දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ අශුචිවළ යම්සේ වෙසෙසින් දුගඳ වහනය කෙරේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දැඩි ආයාසබහුල කොට ඇත්තේ මඳකුත් කියන ලද්දේ එහි ගැටේ ද, කිපේ ද, තදව සිටුනේ වේ ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්ය්යුපාසනය නොකට යුත්තේ ය. කවර හෙයින යත්: වැලි මා හැවියහෙන්නේය, වැලි මට අසභ්ය බණනේය, මට අනර්ත්ථ ද කරන්නේය කියායි. එබැවින් මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්ය්යුපාසනය නොකට යුත්තේ ය.