3. 1. 3. 5.
25. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලය, විදුලිය බඳු සිත් ඇති පුද්ගලය, විදුරක් බඳු සිත් ඇති පුද්ගල යි.
මහණෙනි, පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසි පුඟුලෙක් කිපෙන සුලු වෙයි, දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය පියයි, තද ව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනා ලද පැරැණි වණයක් වෙසෙසින් (ලෙ සැරව) වගුරුවා ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් කිපෙන සුලු වෙයි. දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය අත් හරියි, තදව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටක් පහළ කෙරෙයි. මහණෙනි, මෙ පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
මහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් උපදනා හේතු ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කිරීම ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කරණු පිණිස යන පිළිවෙත ය” යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ගණඳුරු රැයෙහි විදුලිය පවත්නා අතුරෙහි රූ දක්නේ වේ ද, මහණෙනි, එපරිදි මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. ... ‘මේ දුක් නැති කරණ පිළිවෙතැ’ යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
මහණෙනි, විදුර බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. මහණෙනි, යම් පරිදි මිණෙක් වේවයි, පහණෙක් වේවයි, විදුර විසින් නොබිඳලියහෙන දැයෙක් නැද්ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවක්‍ෂයන් ... ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වෙසෙයි. මහණෙනි, මෙ විදුර බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ලෝකයෙහි විද්‍යමාන වන පුද්ගලයෝ තුන් දෙන වෙත්.
3. 1. 3. 6.
26. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, නො එළඹියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹියයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත.
මහණෙනි, සේවනය නො කටයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු පුද්ගලයා කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) හීන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය නො කටයුතුය. භජනය නො කටයුතුය. පර්‍ය්‍යුපාසනය නො කටයුතුය. දයාව හැරයි, අනුකම්පාව හැරයි.
මහණෙනි, සේවනය කටයුතු, භජනය කටයුතු, පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) සමාන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුතුය. භජනය කටයුතුය. පර්‍ය්‍යුපාසනය කටයුතු ය. ඒ කවර හෙයින යත්: ශීලයෙන් සමාන බවට ගියා වූ ම අපගේ ශීල කථාව ද වෙයි, අපගේ ඒ කථාව ද පවත්නී වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. සමාධියෙන් සමාන බවට ගියා වූ ම අපගේ සමාධිකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. ප්‍රඥායෙන් සමාන බවට ගියා වූ ම අපගේ ප්‍රඥාකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේ ය.
මහණෙනි, කවර පුද්ගලයෙක් සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේ වේ ද, භජනය කටයුත්තේ වේ ද, පර්‍ය්‍යුපාසනය කටයුත්තේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) වැඩි තරම් වේ ද, මහණෙනි, මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. ඒ කවර හෙයින යත්: මෙසේ නො පිරිපුන් හෝ සිල්කඳ පුරමි. පිරිපුන් හෝ සිල්කඳ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනා ලෝකයෙහි විද්‍යමාන වෙති.
1. තමනට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසි කලෙකත් නො පිරිහෙයි. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩිතැනැත්තකු භජනය කරන්නේ ය.