3. 1. 3. 1.
21. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සාම්මෝදනයට හේතු වන සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන්ට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, සවිට්ඨයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් තොපට ඉතා මැනැවැයි ප්රණීතතරය යි රුස්නේ ය?
ඇවැත් ශාරීපුත්රයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි: ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙන විද්යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් සද්ධාවිමුත්ත නම් යම් පුද්ගලයෙක් වේ ද, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ පුද්ගල තෙමේ වඩා මැනැවැයි ද වඩා ප්රණීත යයි ද මට රුස්නේ වේ. ඊට හේතු කවරේය යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ ශ්රද්ධේන්ද්රිය බලවත් වේ ද එහෙයිනි.
ඉක්බිති, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත, කොට්ඨිතයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් වඩා මැනැවැයි ද, ප්රණීතය යී ද තොපට රුස්නේ වේ ද?
ඇවැත් ශාරීපුත්රයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙහි යම් පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, මේ පුද්ගල තෙමේ මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් වඩා මැනැවැයි ද, වඩා ප්රණීතය යි ද මට රුස්නේ වෙයි. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ සමාධින්ද්රිය ය ඉතා බලවත් වේ ද, එහෙයිනි.
ඉක්බිති ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත් ශාරීපුත්රයෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්ත යි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් වඩා මැනැවැයි ද, වඩා ප්රණීතය යි ද තොපට රුස්නේ වේ ද?
ඇවැත් කොට්ඨිතයෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් යම් පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් ඉතා මැනැවැයි ද, ඉතා ප්රණීතය යි ද, මට රුස්නේ වෙයි. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ ප්රඥේන්ද්රියය ඉතා බලවත් වේ ද, එහෙයිනි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, අප හැම දෙනා විසින් සිය සිය වැටහීම ප්රකාශ කරණ ලදී. ඇවැත්නි, යම්හ, භාග්යවතුන් වහන්සේ කරා එළඹෙන්නම්හ. එළැඹ භාග්යවතුන් වහන්සේට මෙ පවත සැළ කරම්හ. භාග්යවතුන් වහන්සේ අපට යම් පරිද්දෙකින් වදාරණ සේක නම්, එපරිද්දෙන් එය දරන්නම්හ යී.
ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ඇවැත්නි, එසේ ය යී ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියාහුය. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරුන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් හා සමග යම් බඳු කථාසල්ලාපයෙක් වී ද, ඒ හැම භාග්යවතුන් වහන්සේට සැළ කළහ.
ශාරීපුත්රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් මෙ තෙමේ වඩා මැනැවැයි ද, වඩා ප්රණීතය යි ද, ඒකාන්තයෙන් ප්රකාශ කිරීම සුකර නො වේ. ශාරීපුත්රය, මෙබඳු කරුණෙක් ඇත: “යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ අර්හත් හෝ අර්හත් මාර්ගයට පිළිපන්නේ හෝ වෙයි. යම් පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි” ශාරීපුත්රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්රණීතය යි ද ඒකාන්තයෙන් ප්රකාශ කිරීම සුකර නො වේ.
ශාරීපුත්රය, මෙබඳු කරුණෙක් ඇත: ‘යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ අර්හත් හෝ අර්හත් මාර්ගයට පිළිපන්නේ හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ සකෘදාගාමී හෝ අනාගාමි හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි.’ ශාරීපුත්ර ය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්රණීතය යි ද, ඒකාන්තයෙන් ප්රකාශ කිරීම සුකර නො වේ.
ශාරීපුත්රය, මෙබඳු කරුණෙක් ඇත: “යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ අර්හත් හෝ අර්හත් මාර්ගයට පිළිපන්නේ හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමි හෝ වෙයි” ශාරීපුත්රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්රණීතය යි ද ඒකාන්තයෙන් ප්රකාශ කිරීමට සුකර නො වේ යයි.