3. 1. 3. 2.
22. මහණෙනි, ලොව්හි මේ ගිලන්නු තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්ය භෝජන ලබන්නේ හෝ පථ්ය භෝජන නො ලබන්නේ හෝ, පථ්ය බෙහෙත් ලබන්නේ හෝ පථ්ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නොමැ නැගි සිටුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්ය භෝජන ලබන්නේ හෝ පථ්ය භෝජන නො ලබන්නේ හෝ, පථ්ය බෙහෙත් ලබන්නේ හෝ පථ්ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්ය භෝජන නො ලබනු නොව ලබනුයේ ම, පථ්ය බෙහෙත් නො ලබනු නොව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නොව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
මහණෙනි, එහි ලා යම් ගිලනෙක් පථ්ය භෝජන නො ලබනු නො ව ලබනුයේ ම, පථ්ය බෙහෙත් නො ලබනු නො ව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නො ව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගේ ද, මහණෙනි, මේ ගිලනා පිණිස ගිලන් බත අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ගිලන් උවටෙක් අනුදන්නා ලද්දේ ය. මහණෙනි, මේ ගිලනා නිසා අන් ගිලන්නු ද උවටැන් කළයුත්තාහු වෙති. මහණෙනි, මේ වනාහි ලොව්හි විද්යමාන වූ ගිලන්නු තුන් දෙන වෙත්.
මහණෙනි, එපරිද්දෙන් ම ලොව්හි මේ ගිලනුන් බඳු පුද්ගලයෝ තුන්දෙනෙක් විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නොලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්මවිෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්යාත සම්යක්ත්වයට නො පැමිණෙයි.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්මයන් විෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්යාත සම්යක්ත්වයට පැමිණෙයි.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම කුසලධර්මයන් විෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්යාත සම්යක්ත්වයට පැමිණෙයි.
මහණෙනි, එහි ලා යම් පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම, කුශල ධර්මයන් විෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්යාත සම්යක්ත්වයට පැමිණේ ද, මේ පුඟුලා පිණිස ධර්මදේශනාව අනුදන්නා ලදු. මහණෙනි, මේ පුඟුලා පිණිස අනුන්ට ධර්මය දෙසිය යුතුයි. මහණෙනි, ලොව්හි ගිලනුන් උපමා කොට ඇති මේ පුද්ගලයෝ තුන් දෙන විද්යමාන වෙත්.
3. 1. 3. 3.
23. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්යමාන වෙත්. කවර තුන් දෙනක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් දුඃඛ සහිත (කායද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) කායසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත (වාග්ද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) වාක්සංස්කාරය මුළු කෙරෙයි. දුඃඛ සහිත (මනෝද්වාරයෙහි උපදනා චේතනා රාශිය යි කියන ලද) මනඃසංස්කාරය පිඬු කෙරෙයි. හේ දුඃඛ සහිත කායසංස්කාරය රැස් කොට, දුඃඛ සහිත වාක්සංස්කාරය මුළු කොට, දුඃඛ සහිත මනඃසංස්කාරය පිඬු කොට දුඃඛ සහිත ලෝකයට පැමිණෙයි. දුඃඛ සහිත ලෝකයට පැමිණියා වූ ම ඔහු දුඃඛ සහිත ස්පර්ශයෝ පහස්නාහ. හේ දුඃඛ සහිත ස්පර්ශයන් විසින් පහස්නා ලදුයේ ම නිරිසතුන් සෙයින් ඒකාන්තයෙන් දුක් වූ සාබාධවිපාක වේදනාව විඳුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් නිදුක් කායසංස්කාරය රැස් කෙරෙයි. නිදුක් වාක්සංස්කාරය රැස් කෙරෙයි. නිදුක් මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ නිදුක් කායසංස්කාරය රැස් කොට, නිදුක් වාක්සංස්කාරය රැස් කොට නිදුක් මනඃසංස්කාරය රැස් කොට නිදුක් ලෝකයට පැමිණෙයි. නිදුක් ලොවට පැමිණියා වූ ම ඔහු නිදුක් ස්පර්ශයෝ පහස්නාහ. හේ නිදුක් ස්පර්ශයන් විසින් පහස්නා ලදුයේ ම සුභකිණ්ණ දෙවියන් සෙයින් නිදුක් ඒකාන්ත සුව ඇති විපාක වේදනාව විඳුනේ ය.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් දුඃඛ සහිත වූ ද, දුඃඛ රහිත වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද වාක්සංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද මනඃසංස්කාරය රැස් කෙරෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද කායසංස්කාරය රැස් කොට දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද වාක්සංස්කාරය රැස් කොට, දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද මනඃසංස්කාරය රැස් කොට දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ලෝකයට පැමිණෙයි. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ලෝකයට පැමිණියා වූ ම ඔහු දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ස්පර්ශයෝ පහස්නාහ. දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද ස්පර්ශයන් විසින් පහස්නා ලදුයේ ම හේ ඇතැම් මිනිසුන් හා ඇතැම් විනිපාත දෙවියන් සෙයින් දුඃඛ සහිත වූ ද දුඃඛ රහිත වූ ද සුවදුක් මුසු වූ වේදනාව විඳුනේ ය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි විද්යමාන වෙති.
3. 1. 3. 4.
24. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් පුද්ගලයක්හට බොහෝ වහල් වෙති. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, යම් පුඟුලකු වෙත පැමිණ පුද්ගල තෙමේ බුදුන් සරණ ගියා වේ ද, දහම් සරණ ගියා වේ ද, සඟුන් සරණ ගියා වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ වහල් වෙයි.
තවද මහණෙනි, යම් පුද්ගලයකු වෙත පැමිණ පුද්ගල තෙමේ ‘මේ දුකැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් ඉපැදීමෙහි හේතුය’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති කිරීමැ’යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, ‘මේ දුක් නැති කරණු පිණිස යන ප්රතිපදාය’ යි තත් වූ පරිද්දෙන් දන්නේ වේ ද, මහණෙනි, මේ ඇදුරු පුද්ගල තෙමේ මේ අතැවැසි පුද්ගලයාහට බොහෝ වහල් වෙයි.