3. 1. 2. 10.
20. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වෙණෙඳ නොබෝ කලෙකින් ම භෝගවිෂයෙහි මහත්බවට විපුලබවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ නුවණැස් ඇත්තේ වෙයි, ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇත්තේ ද වෙයි, නිඃශ්‍රයසම්පන්න ද වේ.
මහණෙනි, වෙණෙඳ කෙසේ නුවණැස් ඇති වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි වෙණෙඳ “මේ වෙළඳ බඩු මෙසේ මිල දී ගන්නා ලද්දේ මෙසේ විකුණනු ලබන්නේ මෙතෙක් මිල වෙයි. මෙතෙක් ලාභ වේ යයි” බඩුමිල දනී ද, මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණැස් ඇති වෙයි. මහණෙනි, කෙසේ නම්, වෙළඳ තෙම ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇති වේ ද යත්: මහණෙනි, මෙලොව්හි වෙළඳ තෙම වෙළඳ බඩු මිලට ගන්නට හා විකුණන්නට හා දක්‍ෂ වේ ද, මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇති වෙයි.
මහණෙනි, වෙළඳ තෙම කෙසේ නම් නිඃශ්‍රයසම්පන්න වේ ද? යත් මහණෙනි, මෙලොව්හි වෙළෙඳෙක් වේද, “ආඪ්‍ය වූ මහත් වූ ධන ඇති, මහා භොග ඇති, යම් ඒ ගෘහපති කෙනෙක් හෝ ඇත් ද, ගෘහපතිපුත්‍ර කෙනෙක් හෝ ඇත් ද, ඔවුහු “මේ භවත් වෙළෙඳ තෙම නුවණැස් ඇත්තේ ද, විධුර ද වෙයි. අඹුදරුවන් පුස්නට හා අපට කලින් කල අනුප්‍රදානය කරන්නට ද ප්‍රතිබල වේ ය”යි මෙසේ ඔහු දැන ගණිත් ද, ඔවුහු “සගය, වාණිජයෙනි, මෙයින් භෝගයන් ගෙණ ගොස් අඹුදරුවන් පුස්ව, කලින් කල අපට ද දෙව”යි ඔහු භෝගයෙන් පවරත්. මහණෙනි, මෙසේ වනාහි වෙළෙඳ තෙම නිඃශ්‍රයසම්පන්න වේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් වෙළෙඳ තෙම භෝගවිෂයෙහි මහත්බවට විපුලබවට පැමිණෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් ම ධර්‍මවිෂයෙහි මහත් බවට විපුල බවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ නුවණැස් ඇත්තේ ප්‍රඥා ඇත්තේ නිඃශ්‍රය ඇත්තේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නුවණැස් ඇති වේ ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම “මෙය දුකැ”යි තත් වූ පරිද්දෙන් දනී ද - මෙය දුක් නැති කිරීමට යන ප්‍රතිපදා යයි තත් වූ පරිද්දෙන් දනී ද, මහණෙනි, මෙසේ වනාහි මහණ නුවණැස් ඇති වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් විධුර වූයේ වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ අකුශලධර්‍මයන් ප්‍රහීණ කිරීම පිණිස පටන්ගත් වැර ඇත්තේ වෙසෙයි ද, කුසල්දහම් වැඩීම පිණිස ශක්ති ඇත්තේ දෘඪපරාක්‍රම ඇත්තේ වේ ද, කුශලධර්‍මයන් කෙරෙහි නොහළ වීර්‍ය්‍ය ඇති වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ වීර්‍ය්‍ය ඇති වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් නිඃශ්‍රය ඇති වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ, බහුශ්‍රුත වූ පැමිණි ශාස්තෘශාසන ඇති ධර්‍මධර වූ විනයධර වූ (උභය) මාතෘකාධර වූ යම් මහණ කෙනෙක් වෙත් ද, කලින් කල ඔවුන් වෙත පැමිණ කරුණු නොකරුණු විචාරා ද, වහන්ස, මෙය කෙසේ ය? මෙහි අර්‍ත්‍ථය කිමෙකැයි? ප්‍රශ්නකරයි ද, ඒ ආයුෂ්මත්හු ඔහුට අප්‍රකට වූ ධර්‍මය ද විවර කෙරෙති. විස්තෘත නුවූ ධර්‍මය ද විස්තර කෙරෙති. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍මයන් කෙරෙහි සැක දුරලති. මහණෙනි, මෙසේ වනාහි මහණ නිඃශ්‍රය ඇති වේ. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ මහණ නොබෝ කලෙකින් ම ධර්‍මවිෂයෙහි මහත්බවට විපුල බවට පැමිණෙයි.
පළමු වන බණවර නිමි.
දෙවන වග යි.