3. 1. 1. 10.
10. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූයේ ත්රිවිධ මල නො දැහැ (හිසින්) ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: දුශ්ශීල ද වේ. මොහුගේ දෞශ්ශීල්ය මලය ප්රහීණ නුවූයේත් වේ. ඊර්ෂ්යා ඇත්තේත් වේ. මොහුගේ ඊර්ෂ්යාමලය ප්රහීණ නුවූයේත් වේ. මසුරුවූයේ ද වේ. ඔහුගේ මසුරු මල නො ම ප්රහීණ වූයේ ද වේ. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූයේ මේ මල තුණ ප්රහීණ නො කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ නිරයෙහි (පිහිටියේ) වේ.
මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූයේ ත්රිවිධ මල පහා හිසින් ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එසේ ස්වර්ගයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: සිල්වත් ද වෙයි. මොහුගේ දෞශ්ශීල්ය මලය ප්රහීණ වූයේත් වෙයි. ඊර්ෂ්යා නැත්තේ ද වෙයි. ඔහුගේ ඊර්ෂ්යා මලය ප්රහීණ වූයේත් වේ. නො මසුරු වූයේ ද වෙයි. ඔහුගේ මසුරුමල ප්රහීණ වූයේත් වේ. මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූයේ මේ ත්රිවිධමලය ප්රහීණ කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ (ස්වර්ගයෙහි) වේ.
පළමුවන බාල වග යි.
[2. රථකාරවර්ගය]
[සැවැත්නිදාන යි]
3. 1. 2. 1.
11. මහණෙනි, කරුණු තුණෙකින් සමන්වාගත ප්රකට මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුණෙකින යත්: (ශාසනයට) අනුලොම් නුවූ කායකර්මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ වාක්කර්මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ ධර්මයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ ධර්ම තුණෙකින් සමන්වාගත ප්රකට මහණ තෙම බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය.
මහණෙනි, ධර්ම තුනෙකින් සමන්වාගත ප්රසිද්ධ මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය. කවර තුණෙකින යත්: (සස්නට) අනුලොම් වූ කායකර්මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ වාක්කර්මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ ධර්මයෙහි සමාදන් කරවයි, මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත ප්රකට මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය.
3. 1. 2. 2.
12. මහණෙනි, මේ කරුණු තුණෙක් මුදුනෙහි බිසෙස් කළ දෑ කැත්රජහු විසින් දිවිහිම් කොට සිහි කරණුවට නිසි වේ. කවර තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසෙක්හි මුදුනෙහි බිසෙස් කළ කැත් රජ උපන්නේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු පළමු වන කරුණ වේ.
තවද මහණෙනි, යම් පෙදෙසෙක දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ බිසෙස් කෙළේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු දෙවෙනි කරුණ වේ.
තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ සඞ්ග්රාමය දිනා, දිනූ සඞ්ග්රාම ඇත්තේ, එම සඞ්ග්රාම ස්ථානය (කඳවුරු) අභිභවා වෙසේ ද, මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවි හිමියෙන් සිහි කටයුතු තෙවෙනි කරුණ වේ. මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිමියෙන් සිහි කරණුවට නිසි කරුණු තුණ ය.
මහණෙනි, එසෙයින් ම මහණහු විසින් (දිවිහිම්) කොට සිහි කරණුවට නිසි මේ කරුණු තුණෙක් වේ. කවර කරුණු තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසක දී මහණ තෙමේ කෙහෙරවුලු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වන්නේ වේ ද, මහණෙනි, මෙය දිවිහිමියෙන් මහණහු විසින් සිහිකටයුතු පළමු වන කරුණය.