2. 1. 5. 6.
47. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අවිනීත වූ පිළිවිස නොහික්මුනු පිරිසය, දුර්විනීත නො වූ පිළිවිස හික්මුනු පිරිසය යන දෙකය.
මහණෙනි, අවිනීත වූ පිළිවිස නො හික්මුනු පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද (පාළි වසයෙන්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර අර්‍ත්‍ථය ප්‍රකාශ කරණ (සත්ත්‍ව පුද්ගල) ශුන්‍යතායෙන් යුත් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත් ද, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නො කැමැති වෙත්, ඇසීමට කන් රුකොට නොගණිත්, දැන ගැණීමට සිත් නො එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො හඟිත්, කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ, සව්වන් විසින් කියන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය කියත් කියත් ඇසීමට කැමැති වෙත්, කන් රුකොට ගණිත්, ඇසීමට සිත් එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මයන් පුහුණු කොට ඔවුනොවුන් නො ද පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අරුත් කිමැ යි පිළිවිසුමට නො ම සැරිසරත්. ඔහු පිළිසන් අරුත විවර නො කෙරෙත්. අප්‍රකට අර්‍ත්‍ථය ප්‍රකට නො කෙරෙත්. නන් වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍මයන් විෂයෙහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මේ අවිනීත නො පිළිවිස හික්මුනු පිරිස වෙයි.
මහණෙනි, පිළිවිස හික්මුනු අවිනීත නො වූ පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ ශ්‍රාවකයන් විසින් කියන ලද, යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියත් ම එය ඇසීමට කන් නතු නො කෙරෙත්. දැනගැණීමට සිත් නො එළවත්. ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො ද හඟිත්. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද (පාළිවිසින්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට කැමැති වෙත්. කන් නතු කෙරෙත්. දැනගැණීමට සිත් එළවත්. ඒ ධර්‍මයන් ද උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මය පුහුණු කොට උනුන් පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අර්‍ත්‍ථය කිමැ? යි පිළිවිසීමට සැරිසරත්. ඒ භික්‍ෂූහු නොපිළිසන් වූ අර්‍ත්‍ථය විවර කෙරෙත්. අප්‍රකට වූ අර්‍ත්‍ථය ද ප්‍රකට කෙරෙත්. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍ම විෂයෙහි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ විනීත වූ පිළිවිස හික්මුනු පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් පිළිවිස හික්මුනු විනීත වූ පිරිසෙක් වේ ද, තෙල අගී.
2. 1. 5. 7.
48. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිස (සිවුපස) ගරු කරණ සදහම් ගරු නොකරණ පිරිසය, සදහම් ගරු කරණ ආමිස ගරු නො කරණ පිරිසය යන දෙකය.
මහණෙනි, ආමිස ගරු කරණ සදහම් ගරු නො කරණ පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට අසෝ මහණ (සමථවිපස්සනා දෙකින් කෙලෙසුන් කෙරෙන් මිදුනු) උභතෝභාගවිමුක්තයෙක, අසෝ මහණ (ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රව) ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ (නාමකයින් ධ්‍යානස්පර්‍ශ කොට නිවන් පසක් කළ) කාය සාක්‍ෂියෙක. අසෝ මහණ දෘෂ්ටප්‍රාප්තයෙක. අසෝ මහණ (ශ්‍රද්ධාධුරයෙන් වැද කෙලෙසුන් නැසූ බැවින්) ශ්‍රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ (ප්‍රඥාධුරයෙන් වැද සෝවන්මඟ ගන්නා බැවින්) ධර්‍මානුසාරියෙක, අසෝ මහණ (සැදැහැයෙන් වැද සමවන් නොසපයා සෝවන් මගට පිළිපන්) ශ්‍රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණ දහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ බෙණෙත් ද, ඔහු එයින් ලාභ ලබත්. ඔහු මැසූනාහු මුසපත්වූවාහු (එහි) ගැලුනාහු ආදීනව නො දක්නාහු නිස්සරණප්‍රඥා නැත්තාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරු කරණ සද්ධර්‍මය ගරු නොකරණ පිරිස වෙයි.