2. 1. 5. 7.
48. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිස (සිවුපස) ගරු කරණ සදහම් ගරු නොකරණ පිරිසය, සදහම් ගරු කරණ ආමිස ගරු නො කරණ පිරිසය යන දෙකය.
මහණෙනි, ආමිස ගරු කරණ සදහම් ගරු නො කරණ පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට අසෝ මහණ (සමථවිපස්සනා දෙකින් කෙලෙසුන් කෙරෙන් මිදුනු) උභතෝභාගවිමුක්තයෙක, අසෝ මහණ (ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රව) ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ (නාමකයින් ධ්‍යානස්පර්‍ශ කොට නිවන් පසක් කළ) කාය සාක්‍ෂියෙක. අසෝ මහණ දෘෂ්ටප්‍රාප්තයෙක. අසෝ මහණ (ශ්‍රද්ධාධුරයෙන් වැද කෙලෙසුන් නැසූ බැවින්) ශ්‍රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ (ප්‍රඥාධුරයෙන් වැද සෝවන්මඟ ගන්නා බැවින්) ධර්‍මානුසාරියෙක, අසෝ මහණ (සැදැහැයෙන් වැද සමවන් නොසපයා සෝවන් මගට පිළිපන්) ශ්‍රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණ දහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ බෙණෙත් ද, ඔහු එයින් ලාභ ලබත්. ඔහු මැසූනාහු මුසපත්වූවාහු (එහි) ගැලුනාහු ආදීනව නො දක්නාහු නිස්සරණප්‍රඥා නැත්තාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරු කරණ සද්ධර්‍මය ගරු නොකරණ පිරිස වෙයි.
මහණෙනි, සද්ධර්‍මය ගරු කරණ (ආමිෂය) ගරු නොකරණ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට ‘අසෝ මහණ උභතෝභාග විමුක්තයෙක, අසෝ මහණ ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ කායසාක්‍ෂියෙක, අසෝ මහණ දෘෂ්ටප්‍රාප්තයෙක, අසෝ මහණ ශ්‍රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ ධර්‍මානුසාරියෙක, අසෝ මහණ ශ්‍රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණදහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ නො බෙණෙත්. ඔහු ලාභ ද ලබා නො මැසූනාහු මුසපත් නො වූවාහු (එහි) නො ගැලුනාහු ආදීනව දක්නාහු නිඃසරණප්‍රඥා ඇත්තාහු පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ සද්ධර්‍මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සද්ධර්‍මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසෙක් වේ නම් තෙල අගී.
2. 1. 5. 8.
49. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: විෂම පිරිස හා සමපිරිස හා දෙකය.
මහණෙනි, විෂම පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක අධර්‍මකර්‍මයෝ පවතිත් ද, ධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, අවිනය කර්‍මයෝ පවතිත් ද, විනයකර්‍මයෝ නො පවතිත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි මේ විෂම පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස විෂම බැවින් අධර්‍මකර්‍මයෝ පවතිත්. ධර්‍මකර්‍මයෝ නො පවතිත්. අවිනයකර්‍මයෝ පවතිත්. විනයකර්‍මයෝ නො පවතිත්. අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත වෙත්. විනයකර්‍මයෝ දීප්ත නො වෙත්.
මහණෙනි, සමපිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ධර්‍මකර්‍මයෝ පවතිත් ද, අධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, විනයකර්‍මයෝ පවතිත් ද, අවිනයකර්‍මයෝ නො පවතිත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි, මේ සමපිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්‍මකර්‍මයෝ පවතිත්. අධර්‍මකර්‍මයෝ නො පවතිත්. විනයකර්‍මයෝ පවතිත්. අවිනයකර්‍මයෝ නො පවතිත්. ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. විනයකර්‍මයෝ දීප්ත වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත්. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සම පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.
2. 1. 5. 9.
50. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධාර්මික පිරිස හා ධාර්මික පිරිස හා දෙකය. ... මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස්දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.