2. 1. 2. 8.
18. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දතෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ආනන්‍දය, මම කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ඒකාන්තයෙන් නො කළ යුතුයි කියමි.
[අනඳ තෙරහු:]
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කායදුශ්චරිතයෙක්, වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කළ යුතුය යි වදාරණ ලද ද ඒ නොකට යුතු දැ කරණු ලබන කල්හි කවර ආදීනවයෙක් කැමැති විය යුතු ද?
[භගවත්හු:]
ආනන්‍දය, මා විසින් යම් කායදුශ්චරිතයෙක් - වාග්දුශ්චරිතයෙක් - මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කට යුතුය යි වදාරණ ලද නම්, ඒ නො කට යුතු දෑ කරණු ලබන කල්හි මේ ආදීනවය කැමැති විය යුතුය:
“තෙමේත් තමහට උපවාද කෙරෙයි. නුවණැතියෝ විමසා දැන ගරහත්. අපකීර්තිය උස්ව නගියි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්” ය යි.
ආනන්‍දය, මා විසින් යම් කායදුශ්චරිතයෙක් - වාග්දුශ්චරිතයෙක් - මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කළ යුතුය යි පවසන ලද නම්, ඒ නොකට යුතු දෑ කරණු ලබන කල්හි මේ ආදීනවය කැමැති විය යුත්තේ ය.
ආනන්‍දය, මම කායසුචරිතය - වාක්සුචරිතය - මනස්සුචරිතය ඒකාන්තයෙන් කළ යුතු යයි කියමි.
[අනඳ තෙරහු:]
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කායසුචරිතයයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කළ යුතු ය යි පවසන ලද නම්, ඒ කට යුතු දෑ කරණු ලබන කල්හි කවර අනුසසෙක් කැමැති විය යුත්තේ ද?
[භගවත්හු:]
ආනන්‍දය, යම් මේ කායසුචරිතයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කටයුතුය යි මා විසින් කියන ලද නම්, ඒ කට යුතු දෑ කරණු ලබන කල්හි මේ අනුසස කැමැති විය යුත්තේ ය:
“තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. නුවණැත්තෝ විමසා දැන පසසත්. යසගී උස්ව නැගෙයි. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙත්.”
ආනන්‍දය, යම් කායසුචරිතයෙක් - වාක්සුචරිතයෙක් - මනස්සුචරිතයෙක් ඒකාන්තයෙන් කටයුතුය යි ම විසින් පවසන ලද නම්, ඒ කටයුතු දෑ කරණු ලබන කල්හි මේ අනුසස කැමැති විය යුත්තේ යයි.
2. 1. 2. 9.
19. මහණෙනි, අකුශලය දුරලව. මහණෙනි, අකුශලය දුරලන්නට හැකිය. මහණෙනි, ඉදින් ඒ අකුශලය දුරලීමට නො හැකි නම් “මහණෙනි, අකුශලය දුරලවයි” මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය දුරලන්නට හැකි ද, එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව”යී මෙසේ මම කියමි. තවද මහණෙනි, මේ අකුශලය ප්‍රහීණ වූයේ අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, අකුශලය දුරලව” යි මම මෙසේ නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව” යි මම් මෙසේ කියමි.