2. 1. 2. 9.
19. මහණෙනි, අකුශලය දුරලව. මහණෙනි, අකුශලය දුරලන්නට හැකිය. මහණෙනි, ඉදින් ඒ අකුශලය දුරලීමට නො හැකි නම් “මහණෙනි, අකුශලය දුරලවයි” මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය දුරලන්නට හැකි ද, එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව”යී මෙසේ මම කියමි. තවද මහණෙනි, මේ අකුශලය ප්‍රහීණ වූයේ අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, අකුශලය දුරලව” යි මම මෙසේ නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව” යි මම් මෙසේ කියමි.
මහණෙනි, කුශලය වඩව. මහණෙනි, කුශලය වඩන්නට හැකිය. මහණෙනි, ඉදින් කුශලය නොවැඩිය හැකි නම් “මහණෙනි, කුශලය වඩව”යි මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් කුශලය වඩන්නට හැකි ද, එහෙයින් “මහණෙනි, කුශලය වඩව”යි මම මෙසේ කියමි. මහණෙනි, කුශලය වඩන ලද්දේ ඉදින් අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, කුසල් වඩව”යි මෙසේ මම නො කියමි.

තවද මහණෙනි, යම් හෙයෙකින් කුශලය වඩන ලද්දේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, කුශලය වඩව” යි මම මෙසේ කියමි.
2. 1. 2. 10.
20. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: උපිළිවෙලින් වරදවා ගත් පෙළ ද වරදවා පෙරළා ගත් අටුවා ද යන දෙකය. මහණෙනි, වරදවා ගත් පාළියෙහි අටුවා ද දුර්නය (අන්නෑය) වෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: මොනොවට ගත් පෙළදහම ද මොනොවට ගත් අටුවා ද යන දෙකයි. මහණෙනි, මොනොවට ගත් පෙළදහමෙහි අටුවා ද සුනය වෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නාහ යි.
අධිකරණවග දෙවැනි යි
3. බාල වර්‍ගය
2. 1. 3. 1.
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: යමෙක් වරද වරද විසින් නො දක්නේ ද, යමෙකුත් (පිළිගෙණ) වරද දෙසන්නහුගේ යථාධර්‍මය නො පිළිගන්නේ ද, මහණෙනි, මොහු බාලයෝ දෙදෙන වෙති.
මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: යමෙක් වරද වරද විසින් දක්නේ ද, යමෙකුත් පිළිගෙණ වරද දෙසන්නහුගේ යථාධර්‍මය පිළිගන්නේ ද, මහණෙනි, මොහු දෙදෙන පණ්ඩිත වෙති.
2. 1. 3. 2.
22. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත් (අභූතයෙන් දොස් තබත්). කවර දෙදෙනෙක යත්: දුෂ්ට වූයේ ඇතුළත සිටුනා ද්වේෂය ඇත්තේ හෝ වේ ද, වැරදි ලෙස ගැණීමෙන් වූ සැදැහැ ඇත්තේ හෝ වේ ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්.