2. 1. 2. 3.
13. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පිරිවටයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ ඒකාග්‍රභාවය ඇති විතර්‍කරහිත වූ විචාරරහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ද්විතීයධ්‍යානයට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂාව ඇත්තේ ද ස්මෘතිමත් වූයේ ද සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙසෙයි. කයින් සුව පිළිවිදියි. ආර්‍ය්‍යයෝ “උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තෙකැ”යි යම් ධ්‍යානලාභියකු (ගෙණ) කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂාස්මෘති පරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල දෙකයි.
2. 1. 2. 4.
14. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ධර්‍මදේශනා දෙකෙකි. කවර දෙකෙක යත්: සැකෙවින් දෙසුම් හා විතර විසින් දෙසුම ය. මහණෙනි, මේ වනාහි තථාගතයන් වහන්සේගේ ධර්‍මදේශනා දෙක ය.
2. 1. 2. 5.
15. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: දිගුකලක් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) පවත්නේ ය. භික්‍ෂූහු ද සුවසේ නො වසන්නාහුය යි.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද තෙමේ ම මොනොවට තමා නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි දී තෙල කැමැති විය යුතුය. දිගුකල් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) නො පවත්නේ ය. භික්‍ෂූහු ද සුවසේ වසන්නාහුය යි.
මහණෙනි, කෙසේ නම් ඇවැත් අවන් මහණ මොනොවට තෙමේ ම තමා නුවණින් බලා ද? මහණෙනි, මේ සස්නෙහි (ඇවැත්) අවන් මහණ මෙසේ නුවණින් සලකා බලයි: ‘මම වනාහි කරජ කයින් කිසිදෙසක් ම අකුසලට (අන්‍යතර ආපත්තියකට) අවන්මි. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවදනා ඒ මා දිටී. මම වැලිත් කයින් යම් ම අකුශල (ආපත්ති) යකට නො අවන්නෙම් නම්, ඒ මහණ කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවදනා මා නො දක්නේ ය. යම් හෙයෙකින් මම කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවන්නෙම් වේ ද, එහෙයින් ඒ මහණ කයින් කිසියම් ප්‍රදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දිටී. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දැක ද නො සතුටු සිත් ඇති වීය. නොසතුටු සිත් ඇත්තේ ම ඒ මහණ මට නො සතුටු බස් කීය. මම ඒ මහණහු විසින් නො සතුටු බසින් කියනු ලැබුයෙම් ම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම අනුනට සැළ කෙළෙමි. මෙසේ භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සෙයින් ඒ අධිකරණයෙහි මාගේ ම (තුන්වැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ වනාහි ඇවැත් අවන් මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලයි.
මහණෙනි, කෙසේ නම් චෝදනා කරණ මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා ද? මහණෙනි, මේ සස්නෙහි චෝදක භික්‍ෂූ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි: ‘මේ මහණ තෙමේ වනාහි කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවන්නේය. මම කයින් කිසියම් ඒකදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා ඒ මහණහු දිටිමි. ඉදින් මේ මහණ කයින් කිසියම් අකුශලයකට නො අවදනේ නම්, මම කයින් යම් ම අකුශලයකට අවදනා මේ මහණහු නො දක්නෙමි. යම් හෙයෙකින් මේ මහණ තෙමේ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවන්නේ ද, එහෙයින් මම කයින් කිසියම් දෙසක් ම අකුශලයකට අවදනා මේ මහණහු දිටිමි. කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මේ මහණහු දැක ද මම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම මේ මහණහට නො සතුටු බස් කීමි. මා විසින් නො සතුටු බසින් කියනු ලැබුයේ ම මේ මහණ නො සතුටු සිත් ඇති විය. නො සතුටු සිත් ඇත්තේ ම එය අනුනට සැළ කෙළේය. මෙසේ ඒ අධිකරණයෙහි ලා භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සේ මාගේ ම (දෙවැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ චෝදක මහණ තෙමේ මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා බලයි.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවැත් අවන් භික්‍ෂු තෙමේ ද චෝදක භික්‍ෂු තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුයි: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස්කම් පිණිස කැකුළුබව පිණිස (අධිකරණය) පවත්නේ ය. භික්‍ෂූහු ද සැපසේ නො වසන්නාහු’ යි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ තෙමේ ද ඇවැත්නි චෝදනා කරණ මහණ තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස් කම් පිණිස, කැකුළුබැව පිණිස අධිකරණය නො පවත්නේ ය. භික්‍ෂූහු ද සැපසේ වසන්නාහුය’ යි.