2. 1. 2. 4.
14. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ධර්‍මදේශනා දෙකෙකි. කවර දෙකෙක යත්: සැකෙවින් දෙසුම් හා විතර විසින් දෙසුම ය. මහණෙනි, මේ වනාහි තථාගතයන් වහන්සේගේ ධර්‍මදේශනා දෙක ය.
2. 1. 2. 5.
15. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: දිගුකලක් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) පවත්නේ ය. භික්‍ෂූහු ද සුවසේ නො වසන්නාහුය යි.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද තෙමේ ම මොනොවට තමා නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි දී තෙල කැමැති විය යුතුය. දිගුකල් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) නො පවත්නේ ය. භික්‍ෂූහු ද සුවසේ වසන්නාහුය යි.
මහණෙනි, කෙසේ නම් ඇවැත් අවන් මහණ මොනොවට තෙමේ ම තමා නුවණින් බලා ද? මහණෙනි, මේ සස්නෙහි (ඇවැත්) අවන් මහණ මෙසේ නුවණින් සලකා බලයි: ‘මම වනාහි කරජ කයින් කිසිදෙසක් ම අකුසලට (අන්‍යතර ආපත්තියකට) අවන්මි. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවදනා ඒ මා දිටී. මම වැලිත් කයින් යම් ම අකුශල (ආපත්ති) යකට නො අවන්නෙම් නම්, ඒ මහණ කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවදනා මා නො දක්නේ ය. යම් හෙයෙකින් මම කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවන්නෙම් වේ ද, එහෙයින් ඒ මහණ කයින් කිසියම් ප්‍රදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දිටී. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දැක ද නො සතුටු සිත් ඇති වීය. නොසතුටු සිත් ඇත්තේ ම ඒ මහණ මට නො සතුටු බස් කීය. මම ඒ මහණහු විසින් නො සතුටු බසින් කියනු ලැබුයෙම් ම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම අනුනට සැළ කෙළෙමි. මෙසේ භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සෙයින් ඒ අධිකරණයෙහි මාගේ ම (තුන්වැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ වනාහි ඇවැත් අවන් මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලයි.
මහණෙනි, කෙසේ නම් චෝදනා කරණ මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා ද? මහණෙනි, මේ සස්නෙහි චෝදක භික්‍ෂූ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි: ‘මේ මහණ තෙමේ වනාහි කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවන්නේය. මම කයින් කිසියම් ඒකදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා ඒ මහණහු දිටිමි. ඉදින් මේ මහණ කයින් කිසියම් අකුශලයකට නො අවදනේ නම්, මම කයින් යම් ම අකුශලයකට අවදනා මේ මහණහු නො දක්නෙමි. යම් හෙයෙකින් මේ මහණ තෙමේ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවන්නේ ද, එහෙයින් මම කයින් කිසියම් දෙසක් ම අකුශලයකට අවදනා මේ මහණහු දිටිමි. කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මේ මහණහු දැක ද මම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම මේ මහණහට නො සතුටු බස් කීමි. මා විසින් නො සතුටු බසින් කියනු ලැබුයේ ම මේ මහණ නො සතුටු සිත් ඇති විය. නො සතුටු සිත් ඇත්තේ ම එය අනුනට සැළ කෙළේය. මෙසේ ඒ අධිකරණයෙහි ලා භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සේ මාගේ ම (දෙවැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ චෝදක මහණ තෙමේ මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා බලයි.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවැත් අවන් භික්‍ෂු තෙමේ ද චෝදක භික්‍ෂු තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුයි: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස්කම් පිණිස කැකුළුබව පිණිස (අධිකරණය) පවත්නේ ය. භික්‍ෂූහු ද සැපසේ නො වසන්නාහු’ යි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ තෙමේ ද ඇවැත්නි චෝදනා කරණ මහණ තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස් කම් පිණිස, කැකුළුබැව පිණිස අධිකරණය නො පවත්නේ ය. භික්‍ෂූහු ද සැපසේ වසන්නාහුය’ යි.