2. 1. 2. 2.
12. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්යාගය හා නිර්වාණප්රස්කන්දනය පිණිස පිරිනමන සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්යාගය හා නිර්වාණප්රස්කන්දනය පිණිස පිරිනමන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මෙ බල දෙකයි.
2. 1. 2. 3.
13. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය වනාහි මෙලොව්හි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පිරිවටයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්මයෙන් වෙන් ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්රීතිය හා සුඛ ඇති ප්රථමධ්යානය උපයා වෙසෙයි. විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ ඒකාග්රභාවය ඇති විතර්කරහිත වූ විචාරරහිත වූ සමාධියෙන් උපන් ප්රීතිය හා සුඛ ඇති ද්විතීයධ්යානයට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. ප්රීතිහුගේ ද විරාගයෙන් උපේක්ෂාව ඇත්තේ ද ස්මෘතිමත් වූයේ ද සම්යක්ප්රඥා ඇත්තේ වෙසෙයි. කයින් සුව පිළිවිදියි. ආර්ය්යයෝ “උපේක්ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තෙකැ”යි යම් ධ්යානලාභියකු (ගෙණ) කියද්ද, ඒ තෘතීයධ්යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්රහාණයෙන් දුඃඛයාගේ ද ප්රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් නොසුව වූ උපේක්ෂාස්මෘති පරිශුද්ධිය ඇති චතුර්ත්ථධ්යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල දෙකයි.
2. 1. 2. 4.
14. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ධර්මදේශනා දෙකෙකි. කවර දෙකෙක යත්: සැකෙවින් දෙසුම් හා විතර විසින් දෙසුම ය. මහණෙනි, මේ වනාහි තථාගතයන් වහන්සේගේ ධර්මදේශනා දෙක ය.
2. 1. 2. 5.
15. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: දිගුකලක් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) පවත්නේ ය. භික්ෂූහු ද සුවසේ නො වසන්නාහුය යි.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද තෙමේ ම මොනොවට තමා නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි දී තෙල කැමැති විය යුතුය. දිගුකල් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) නො පවත්නේ ය. භික්ෂූහු ද සුවසේ වසන්නාහුය යි.