11. 1. 9.
සන්‍ධ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නගර සමීපයෙහි වූ ගිඤ්ජකාවස්ථයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් සන්‍ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සන්‍ධ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
සන්‍ධයෙනි, ආජානේයධ්‍යායිතය සිතව, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය නහමක් සිතව, සන්‍ධයෙනි, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය කිසෙයින් වේ ය යත්:
සන්‍ධයෙනි, සත්ත්‍වාහාර බවන දෙණ සමීපයෙහි බඳනා ලද අස්ගුණ්ඩයා වනාහි ‘යවස, යවස’යි සිතනේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, යචස බහන දෙණ හමුයෙහි බැඳුණු අස්ගුණඩහට මෙබඳු සිතෙක් නො වෙ යි: ‘අස්දම්සැරි අද මා ලවා කිනම් කරුණක් කරවන්නේ ද? මම අද ඔහට කුමක් පෙරළා කරනෙම් දැ’යි (කියායි). හේ දෙණ වෙත බැඳුණේ ‘යවස, යවසැ’ යි සිතනේ ය,
සන්‍ධයෙනි, එ පරිද්දෙන් ම මෙ සස්නෙහි ඇතැම් පුරුෂගුණ්ඩයෙක් වලට ගියේ වේව යි, රුක්මුලට ගියේ වේව යි, ශූන්‍යාගාරයට ගියේ වේව යි, කාමරාගයෙන් ගන්නා ලද කම්රාඅනුගිය සිතින් වාසය කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය. හේ කාමරාගය අභ්‍යන්තරයෙහි කොට ධ්‍යාන කෙරෙයි. ප්‍රධ්‍යාන කෙරෙයි නිබඳ කොට ධ්‍යාන කෙරෙයි, බැස ගෙන සිතයි, ව්‍යාපාදයෙන් ගත් සිතින් වාසය කරයි -- සත්‍යානමිද්ධයෙන් ගත් සිතින් වාසය කරයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් ගත් සිතින් වාසය කරයි -- විචිකිත්සායෙන් ගත් විචිකිත්සායෙන් මැඩුණු සිතින් වාසය කරයි. උපන්නා වූ ද විචිකිත්සාහුගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය, හේ විචිකිත්සාව ම අභ්‍යන්තරයෙහි කොට (ලා) සිතන්නේ ය, නානාප්‍රකාරයෙන් සිතන්නේ ය, නිබඳකොට සිතන්නේ ය, බැස සිතන්නේ ය, හේ පෘථිවීකෘත්ස්නධ්‍යානය ද නිසා ධ්‍යාන කරන්නේය -- අප්කෘත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය - තේජස්කෘත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය. වායුකාත්ස්නධ්‍යානය ද නිසා සිතන්නේ ය -- ආකාසානඤ්චායතනධ්‍යානය ද සිතන්නේ ය -- විඤ්ඤානඤ්චායතනධ්‍යානය ද නිසා සිතන්නේ ය -- ආකිඤ්චඤ්ඤායතනධ්‍යානය ද නිසා සිතන්නේ ය, පරලෝකය ද නිසා සිතන්නේ ය. යම් බඳු සිතන්නේ ය ඉහප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එය ද නිසා සිතන්නේ ය. සන්‍ධයෙනි, මෙසෙයින් පුරුෂ ඛලුඞ්කධ්‍යාධිතය වෙයි.
සන්‍ධයෙනි, භද්‍ර වූ ආජානේයධ්‍යායිතය කෙසේ වේ ය යත්: සන්‍ධයෙනි, අශ්වාජානේයයා සත්ත්‍වාහාර බහන දෙණ සමීපයෙහි බඳනාලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, දෙණ සමීපයෙහි බඳනා ලද භද්‍ර වූ අශ්වාජානේයයාට මෙබඳු සිතෙක් වෙයි: අද මා ලවා අස්දම්සැරි කුමක් කරවන්නේ ද? ඔහට මම් අද කුමක් පෙරළා කරනෙම් දැ”යි (කියායි), හේ දෙණ හමුයෙහි බඳනා ලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. සන්‍ධයෙනි, භද්‍ර වූ අශ්වාජානේයයා වනාහි ප්‍රතොදයාගේ අධ්‍යවහරණ සඞ්ඛ්‍යාත පතනය සාණ සදෘස කොට බන්‍ධන සදෘස කොට හානි සදෘස කොට මහාපරාධ සදෘස කොට මෙසේ මොනවට දක්නේ ය.
සන්‍ධයෙනි, එ පරිද්දෙන් ම භද්‍ර වූ පුරුෂාජානේයයා වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේව යි ශූන්‍යාගාරයට ගියේ වේවයි කාමරාගයෙන් ගත් මඩනා ලද සිතින් වාසය නො කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් දන්නේ ය.
ව්‍යාපාදයෙන් මඩනා ලද, සිතින් වාසය නො කෙරෙයි -- සත්‍යානමිද්ධයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- විචිකිත්සායෙන් මඩනා ලද විචිකිත්සායෙන් යටකළ සිතින් වාසය නො කරයි උපන්නා වූ ද විචිකිත්සාවගේ නිඃසරණය තතු සේ දන්නේ ය. හේ පෘථිවිය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආපය නිසා නොම ධ්‍යාන කෙරෙයි, තේජස් නිසා නොම ධ්‍යාන කෙරෙයි, වායු නිසා නොම ධ්‍යාන කෙරෙයි, ආකාසානඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, විඤ්ඤාණඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, ඉහලොකය නිසා නොම ධ්‍යාන කෙරෙයි, පරලෝකය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, යම් ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා නො ම ධ්‍යාන කෙරෙයි. එතෙකුදුවත් ධ්‍යාන කෙරෙයි. සන්‍ධයෙනි, භද්‍ර වූ පුරුෂාජානේයයා ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමදනාහ:
“යම් ම අරමුණක් නිසා ධ්‍යානය කරහු නම් තොපගේ එ අරමුණ නො දනුමෝ නම්, පුරුෂාජානේයයෙනි, තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමයෙනි තොපට නමස්කාර වේවා”යි
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සන්‍ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ.