11. 1. 10.
මොරනිවාප සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ මොරනිවාප නමු වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
මහණෙනි, කරුණු තුනෙකින් සමන්‍වාගත මහණ අතීක්‍රාන්ත (ක්‍ෂයව්‍ය සඞ්ඛ්‍යාත) අන්තවත් නිෂ්ඨා (නිර්‍වාණ) ඇතියේ අත්‍යන්ත යෝග ක්‍ෂේම ඇතියේ අත්‍යන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. කවර තුනෙකින යත්: අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධි ස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙනැයි. මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වූයේ අත්‍යන්ත යෝගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
මහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර තුනෙකින යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන, අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍යයෙනැයි. මහණෙනි, මෙ තුන් කරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝග ක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
මහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යාවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර තුනෙකින යත්: සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙනැයි. මහණෙනි, මෙ කරුණු තුනින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
මහණෙනි, කරුණු දෙකෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝගක්‍ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර දෙකෙකින යත්: විද්‍යායෙන, චරණයෙනැයි. මහණෙනි, මෙ දෙකරුණෙන් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙ යි.
මහණෙනි, සනංකුමාර බ්‍රහ්ම විසිනුදු තෙල ගාථා භාෂිත වෙයි:
“යමෙක් තුමූ ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ මහාජනයා අතුරෙහි ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ වෙයි. විද්‍යායෙන් හා චරණධර්‍මයෙන් සම්පන්න ඒ ක්‍ෂීණාස්‍රව බුදුහු දෙවි මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙති”යි.
මහණෙනි, සනංකුමාර බ්‍රහ්මයා විසින් තෙල ගාථා තොමෝ දූර්ගීත නොව සුගීත වෙයි. දුර්‍භාෂිත නොව සුභාෂිත ය. අනර්‍ත්‍ථ සංහිත නොව අර්‍ත්‍ථ සංහිත ය, මා විසින් අනුමත ද වෙයි. මහණෙනි, මම්දු මෙසේ කියම්:
යම් කෙනෙක් ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ බඳු ජනයා අතුරෙහි ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ ය, විද්‍යායෙන් හා චරණ ධර්‍මයෙන් සම්පන්න එ ක්‍ෂීණාස්‍රව මුනිහු දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙතැ”යි.
ප්‍රථම නිස්සය වර්‍ගය යි.
එහි උද්දානය:
කිමත්‍ථිය, චේතනා යන සූත්‍ර දෙක ය උපනිසා සූත්‍ර තුනෙක, ඛ්‍යසන සූත්‍ර ය, සඤ්ඤා සූත්‍ර දෙක ය, මනසිකාර සූත්‍රය, සන්‍ධ සූත්‍ර ය, මොරනිවාප සූත්‍ර ය දැයි දසයෙකි.