10. 5. 1. 5.
විසාරද සූත්රය
මහණෙනි, දස කරුණෙකින් සමන්වාගත අවිශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි, කාමයන්හි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, පිසුනුබස් ඇත්තී වෙයි, පරොස්බස් ඇත්තී වෙයි, සම්ප්රඵලාප ඇත්තී වෙයි. අභිධ්යා බහුල කොට ඇත්තී වෙයි. ව්යාපාදයට අවන් සිතැත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි,
මහණෙනි, මෙ දස කරුණින් සමන්වාගත උපාසිකා තොමෝ අවිශාරද වූවා ගිහිගෙයි වසයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්වාගත විශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියා වෙයි, අයිනාදනින් වැළැකියා වෙයි, කාමයන්හි මිස හසරින් වැළැකියා වෙයි, මුසවායෙන් වැළැකියා වෙයි, පිසුනුබසින් වැළැකියා වෙයි, පරොස් බසින් වැළැකියා වෙයි, සම්ප්රඵලාපයෙන් වැළැකියා වෙයි. අභිධ්යා බහුල කොට නැත්තී වෙයි. ව්යාපාදයට පත් සිත් නැත්තී වෙයි. සම්යග්දෘෂ්ටි ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් යුත් උපාසිකා තොමෝ විශාරද වූවා ගිහිගෙයි වසයි.
10. 5. 1. 6.
සංසප්පනිය පරියාය සූත්රය
මහණෙනි, තොපට සංසර්පණීය පර්ය්යාය දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය, වහන්සැයි එ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, සංසර්පණීය පර්ය්යාව නම් වූ එ ධර්මපර්ය්යාය කවරේය යත්:
මහණෙනි, සත්හු කර්මය දායාද්ය කොට ඇත්තාහු කර්මය කරණ කොට ඇත්තාහු කර්මය බන්ධු කොට ඇත්තාහු කර්මය පිළිසරණ කොට ඇත්තාහු කර්මස්වකයහ. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම්හි හා වොලො ගැණුම් හි බටුයේ සර්වප්රාණභූත ගණයා කෙරෙහි දයාරහිත වූයේ ප්රාණඝාතී වෙයි. හෙ කයින් සංසර්පණ (කර්ම) කෙරෙයි, වචනයෙන් සංසර්පණ කෙරෙයි. මනසින් සංසර්පණ කෙරෙයි, ඔහුගේ වක්රකාය කර්මය වෙයි, වක්රවාක්කර්මය වෙයි, වක්ර මනඃ කර්මය වෙයි, වක්රගති වෙයි, චක්ර උප්පත්ති වෙයි, මහණෙනි, මම වක්රගති ඇති වක්ර උපපත්ති ඇතියහුට යම් බඳු එකැතින් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු සංසර්පණ ස්වාභාව ඇති තිරිසන් යොන්හු වෙත් නම් එ දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
මහණෙනි, සංසර්පණස්වාභාව ඇති ඒ තිරශ්චීනයෝනිය කවර: සර්පයහ වෘශ්චිකා යහ, ශතපදීහුය, නකුල යහ, විඩාල යහ, මූෂිකා යහ, උලුකය හයි. යම් බඳු කිසියම් තිරශ්චීන යෝනියෙහි උපන් සත්ත්වකෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නම් ඔහු හෝ යි. මහණෙනි, මෙසේම විද්යමාන කර්මයෙන් සත්ත්වයාගේ උපපත්තිය වෙයි, යමක් කෙරේ නම් එයින් උපදනේය. උපන් ඔහු විපාක ස්පර්ශයෝ පහසිත්, මහණෙනි, මෙසේ ද මම් සත්ත්වයෝ කර්ම දායාදය හ යි කියමි.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නුදුන් දෑ ගන්නා සුලු වෙයි … කාමයන්හි මිසහසර ඇතිවෙයි … මුසවා බණන සුලු වෙයි ... පිසුනු බස් ඇතියේ වෙයි ... පරොස් බස් ඇතියේ වෙයි ... සම්ප්රඵලාප කියන සුලු වෙයි ... අභිධ්යා බහුල කොට ඇතියේ වෙයි ... ව්යාපාදයට වන් සිතැතියේ වෙ ... විපරීතදර්ශන ඇති මිථ්යා දෘෂ්ටික වෙයි:
“දුන් දෑහි ඵල නැත ... ලොව්හි සම්යක්ගත සම්යක්ප්රතිපන්න වූ යම් කෙනෙක් මෙ ලොව හා පරලොව හා තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකර්ෂයෙන් දන්නාහු නම් එබඳු මහණ බමුණෝ නැතැ”යි. හෙ කයින් කර්ම කෙරෙයි වචනයෙන් කර්ම කෙරෙයි. මනසින් කර්ම කෙරෙයි. ඔහුගේ කායකර්ම වක්ර වෙයි, වාක්කර්ම වක්ර වෙයි, මනඃ කර්ම වක්ර වෙයි, වක්රගති වෙයි, වක්ර උපපත්ති වෙයි.
මහණෙනි, වක්රගති ඇතියහුට වක්ර උපපත්ති ඇතිය හුට මම යම් බඳු වූ හෝ එකැතියෙන් දුක් ඇති නිරයෝ වෙත් නම් යම් බඳු වූ හෝ හැකිළෙන සැහැවි ඇති තිරිසන් යොන් වේ නම් එබඳු දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.