10. 3. 3. 7.
සප්තම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙති යී.
10. 3. 3. 8.
අෂ්ටම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යාවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නොවෙත්.
10. 3. 3. 9.
නවම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙති යි.
10. 3. 3. 10.
දසම සූත්‍රය
මහණෙනි, මේ මිථ්‍යාත්‍ව දසයෙක. කවර දසයෙක යත්: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දස මිථ්‍යාත්‍ව යි.
10. 3. 3. 11.
ඒකාදශ සූත්‍රය
මහණෙනි, මේ සම්‍යක්ත්‍ව දසයෙක. කවර දසයෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ දස සම්‍යක්ත්‍ව යි.
තෙවැනි පරිසුද්ධවර්‍ග යි.