10. 3. 1. 12.
අසේඛියධම්ම සූත්‍රය
මහණෙනි, මෙ අසෙඛියධර්‍ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා ය, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසතිය ය, අසේඛ සම්මාසමාධිය ය, අසේඛ සම්මාඤාණය ය, අසේඛ සම්මාවිමුක්ති යයි. මහණෙනි, මොහු දස අසේඛිය ධර්‍මයෝ යි.
පළමුවැනි සමණසඤ්ඤා වර්‍ග යි.
එහි උද්දානය:
සඤ්ඤා ය, බොජ්ඣඞ්ග ය, මිච්ඡත්ත ය, බීජය, විජ්ජා ය, නිජ්ජරා ය, ධෝවන ය, තිකිච්ඡා දෙකය, නිද්ධමන ය, අසේඛ සූත්‍ර දෙකදැයි දොළොසෙකි.
2. පච්චෝරෝහණි වර්‍ගය
10. 3. 2. 1.
පඨම අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දතයුතු, ධර්‍ම හා අර්‍ත්‍ථ හා දතයුතු, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දැන ධර්‍ම හා අර්‍ත්‍ථ දැන ධර්‍ම යම් පරිදි වේ නම් අර්‍ත්‍ථ යම් පරිදි වේ නම් ඒ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති ය යි. මහණෙනි, මේ අධර්‍මය හා අනර්‍ත්‍ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍ම හා අර්‍ත්‍ථ හා කවරේ ය යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති ය යි. මහණෙනි, ධර්‍ම හා අර්‍ත්‍ථ යයි කියනු ලැබේ.
මහණෙනි, අධර්‍මය හා අනර්‍ත්‍ථය හා දත යුතු ය, ධර්‍මය හා අර්‍ත්‍ථය හා දත යුතුය, අධර්‍ම හා අනර්‍ත්‍ථ හා දැන ධර්‍ම හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වෙ නම් එපරිදි පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියනලද නම්, තෙල මෙ පිණිස කියන ලදැ යි.
10. 3. 2. 2.
දුතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍ම හා ධර්‍ම හා දතයුතු: අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දතයුතු, අධර්‍ම හා ධර්‍ම හා දැන අනර්‍ත්‍ථ හා අර්‍ත්‍ථ හා දැන ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ නම් පිළිපැදිය යුතුයි.
මහණෙනි, අධර්‍මය කවරේය, ධර්‍මය කවරේය, අනර්‍ත්‍ථය කවරේය, අර්‍ත්‍ථය කවරේය යත්:
1. මහණෙනි, මිච්ඡාදිට්ඨිය අධර්‍මයි, සම්මාදිට්ඨිය ධර්‍ම යි. මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම්, මේ අනර්‍ත්‍ථ වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්‍ත්‍ථ වෙයි.