10. 1. 3. 9.
ප්රථම කෝසල සූත්රය
[සැවැත්]
1. මහණෙනි, යම්තාක් කසී කොසොල් ජනපද වැසියෝ වෙත් නම්, පසේනදී කෝසල රජුගේ විජිතයෙහි යම්තාක් රජහු වෙත් නම්, ඔවුන් අතුරෙහි පසේනදී කෝසල රජ අග්රයි කියනු ලැබේ. මහණෙනි, පසේනදී කොසොල් රජහුගේ ද අන්යථාත්වයෙක් ඇති. විපරිණාමයෙක් (මරණය) ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරිසවු ඒ සැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්ර කෝශල රාජ්යයෙහි නො ඇලෙන්නේ ය. හීන(පඤ්චකාම ගුණ) යෙහි කැලමැයි.
2. මහණෙනි, යම්තාක් සඳහිරුහු වට ඇවිදිද් ද, බබළන්නාහු දිගුන් හොබවත් ද, එතෙක් සහස්රී ලෝකධාතු වෙයි. එ සහස්රී ලෝකධාතුයෙහි සද දහසෙක, හිරුදහසෙක, මහමෙර දහසෙක, දඹදිවු දහසෙක, අපර ගොයාන දහසෙක, උතුරුකුරු දහසෙක, පූර්වවිදේහ දහසෙක, මහ මුහුදු සාරදහසෙක, වරම්රජහු සාරදහසෙක, චාතුර්මහාරාජිකා දහසෙක, ත්රයත්ත්රිංශත් දහසෙක, යාම දහසෙක, තුසිත දහසෙක, නිම්මාණරතී දහසෙක, පරනිර්මිතවශවර්ති දහසෙක, බ්රහ්මලෝක දහසෙක, මහණෙනි, යම්තාක් සහස්රී ලෝකධාතු වේ ද, එහි මහබඹු අග්ර යි කියනු ලැබේ. මහණෙනි, මහබඹුහු දු ගේ අන්යථාත්වයෙක් ඇත. ච්යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්ය ශ්රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්රබ්රහ්මසම්පත්හි නො ඇලෙයි, යටත් සැපත්හි කැල මැයි.
3. මහණෙනි, යම් හෙයකින් මෙ ලොව නස්නේ වේ ද, එබඳු කාලයෙක් වේ මැ ය, මහණෙනි, ලොව නස්නා කල්හි බෙහෙවින් සත්හු ආභාස්වර දෙව්ලොව උපදනාහු වෙත්. එහු ඒ බඹලොව ධ්යානමනසින් මනෝමය වූවාහු ප්රීතිභක්ෂ්ය වූවාහු ස්වයම්ප්රභා ඇත්තාහු අන්තරීක්ෂවර වූවාහු ශුභස්ථායි වූවාහු දීර්ඝ කාලයක් සිටින්නාහු වෙත්. මහණෙනි, ලෝකය නස්නා කල්හි ආභාස්වර දෙවියෝ අග්රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, ආභාස්වර දෙවියනුදු ගේ අන්යථාත්වයෙක් ඇත, ච්යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ එ අග්ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපත්හි කැල ම ය.
4. මහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්: එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්රමාණ රහිත පඨවිකසිණය දන්නේ ය. එකෙක් ... අපොකසිණය දන්නේ ය ... එකෙක් තේජෝකසිණය දන්නේ ය ... එකෙක් වායෝකසිණය දන්නේ ය ... එකෙක් නීලකසිණය දන්නේ ය … එකෙක් පීතකසිණය දන්නේ ය ... එකෙක් ලෝහිතකසිණය දන්නේ ය … එකෙක් ඕදාතකසිණය දන්නේ ය ... එකෙක් ආකාසකසිණය දන්නේ ය ... එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය. මහණෙනි, මොහු දස කසිණායතනයෝ ය. මහණෙනි, එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය යන මේ කරුණෙක් ඇද්ද, මේ දස කසිණයන් අතුරෙහි තෙල අග්ර වෙයි. මහණෙනි, මෙ බඳු සංඥා ඇති සත්ත්වයෝ වෙත් ද මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්වයන් අතුරෙහි දු අන්යථාත්වයෙක් ඇත, ච්යුතියෙක් ඇති. මහණෙනි, මෙසේ දක්නා ආර්ය්යශ්රාවක එ සැපත්හි දු උකටලි වෙයි. එහි උකටලි වනුයේ ඒ අග්ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපතෙහි කැල ම ය.
5. මහණෙනි, මේ අභිභායතනයෝ අට දෙනෙක, කවර අට දෙනෙක යත්: එකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්ණ දුර්වර්ණ වූ බැහැර රූ දක්නේ ය. එ රූ අභිභවා දන්මි, දක්මි යි යන මෙබ දු සංඥා ඇතියේ වෙයි. මේ ප්රථමාභිභායතන යි.
එකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ ප්රමාණ රහිත සුවර්ණ දුර්වර්ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ ද්විතීයාභිභායතනය යි.
එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්ණ දුර්වර්ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ තෘතීයාභිභායතනය යි.