10. 1. 3. 10.
දුතිය කෝසල සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි පසේනදී කෝසල රජ යුධයෙන් නැවතියේ දිනූ සඞ්ග්රාම ඇතියේ ලැබූ අධිප්රාය ඇතියේ වෙයි. එසඳ ප්රසේනජිත් කොසොල් රජ අරම් කරා ගියේ ය. යානභූමිය වැටෙන තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇතියේ ම අරමට පිවිසියේ ය. එසමයෙහි බොහෝ භික්ෂූහු අභ්යාවකාශයෙහි සක්මන් කෙරෙත්. එසඳ ප්රසේනජිත් කොසොල් රජ ඒ භික්ෂූහු වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන් අතින් තෙල විචාළේ ය:
වහන්ස, අර්හත් සම්යක් සම්බුද්ධ වු භාග්යවතුන් වහන්සේ දැන් වෙසෙද්ද? වහන්ස. අපි අර්හත් සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ දක්නට කැමැත්තම්හ යි.
මහරජ, තෙල ගඳොළ ය: පියු දොර ඇත. එයින් නිශ්ශබ්ද ව නො වෙළෙවි ව එළඹ දොර කොටුවට වැද කැසැ අගුළු පහරව. භාග්යවතුන් වහන්සේ තොපට දොර විවර කරන්නාහ යි.
එසඳ ප්රසේනජිත් කොසොල් රජ පියු දොර ඇති ඒ ගඳොල වෙත එළඹ එහි අල්පශබ්ද ව නො වෙළෙවි ව එළඹ ප්රමුඛයට වැද කැසි හඬ නගා අගුළු පහළේ ය. භාග්යවතුන් වහන්සේ දොර විවර කළ සේක. එසඳ ප්රසේනජිත් කොසොල් රජ වෙහෙරට වැද බුදුන් පාමුල්හි හිසින් වැටී බුදුන් සිරිපා මුවිනිදු සුඹුනේ ය. දෙයතිනුදු පරිමදනේ ය. “වහන්ස, මම ප්රසේනජිත් කොසොල් රජිමි. වහන්ස, මම ප්රසේනජිත් කොසොල් රජමි”යි නම ද අස්වනුයේ වෙයි.
මහරජ, තෙපි කවර කරුණක් දක්නේ මේ ශරීරයෙහි මෙබඳු පරමනිපත්යකාරයක් මෛත්රීසම්ප්රයුක්ත උපහාරයක් දක්වහු ද?
වහන්ස, මම කෘතඥතා කෘතවේදිතා දක්මින් භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්යකාරයක් කෙරෙමි. මෛත්රීසම්ප්රයුක්ත උපහාරයක් දක්වමි.
1. වහන්ස, භාග්යවතුන් වහන්සේ කල්යාණධර්මතායෙනුදු කුසලධර්මතායෙන් දැයි යම් ඒ මඟෙකින් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක්, බොහෝ දෙනා විදර්ශනා සහති මාර්ගයෙහි පිහිටුවන සේක. වහන්ස, භාග්යවතුන් වහන්සේ කල්යාණධර්මතායෙනුදු කුසලධර්මතායෙන් දැයි යම් ඒ මඟෙකින් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක් බොහෝ දෙනා ආර්ය්ය න්යායෙහි පිහිටුවන සේක් ද, වහන්ස, මම මෙ කරුණ දක්මින් භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්යාකාරයක් කෙරෙමි, මෛත්රීසම්ප්රයුක්ත උපහාර දක්වමි.
2. තවද වහන්ස, භාග්යවතුන් වහන්සේ සිල්වත්හ. වැඩුණු සිල් ඇතියහ, ආර්ය්යශීල ඇතියහ. අනවද්ය ශීල ඇතියහ, කුශලශීලයෙන් සමන්වාගතයහ. වහන්ස, ‘භාග්යවතුන් වහන්සේ සිල්වත්හ, වැඩුණු සිල් ඇතියහ. ආර්ය්ය ශීල ඇතියහ. අනවද්ය ශීල ඇතියහ. කුශලශීලයෙන් සමන්වාගතයහ’ යන යමෙක් ඇද්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්යාකාර කෙරෙමි. මෛත්රී සම්ප්රයුක්ත උපහාර දක්වමි.
3. තවද වහන්ස, භාග්යවතුන් වහන්සේ දීර්ඝරාත්රයෙහි ආරණ්යකයහ. අරණ සෙනසුන් ද වනපෙත් සෙනසුන් ද ඉතා දුරු වනසෙනසුන් ද සෙවුනාහ. වහන්ස, “භාග්යවතුන් වහන්සේ දීර්ඝරාත්රයෙහි ආරණ්යකයහ. අරණ සෙනසුන් ද වනපෙත් සෙනසුන් ද ඉතා දුරු වනසෙනසුන් ද සෙවුනාහ” යන් යමෙක් ඇද් ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්යාකාර කෙරෙමි. මෛත්රී සම්ප්රයුක්ත උපහාර දක්වමි.
4. තවද වහන්ස, “භාග්යවතුන් වහන්සේ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලානප්රත්යයභෛසජ්යපරිෂ්කාරයෙන් සන්තුෂ්ටයහ. වහන්ස, භාග්යවතුන් වහන්සේ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලානප්රත්යයභෛසජ්යපරිෂ්කාරයෙන් සන්තුෂ්ටයහ” යන යමෙක් ඇද්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්යාකාර කෙරෙමි. මෛත්රී සම්ප්රයුක්ත උපහාර දක්වමි.
5. තවද වහන්ස, භාග්යවතුන් වහන්සේ ආහුනෙය්යයහ, පාහුනෙය්යයහ. දක්ඛිණෙය්යයහ, අඤ්ජලිකරණීයහ. ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රයහ, වහන්ස, භාග්යවතුන් වහන්සේ ආහුනෙය්යයහ, පාහුනෙය්යයහ. දක්ඛිණෙය්යයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රයහ යන යමෙක් ඇත්ද, වහන්ස, මම මෙ කරුණ ද දක්මින් භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු පරමනිපත්යාකාර කෙරෙමි. මෛත්රී සම්ප්රයුක්ත උපහාර කෙරෙමි.