10. 1. 3. 8.
දෙවන මහාපඤ්හ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නගරයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණ වෙත එළඹියහ. එළඹ කජඞ්ගලා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණට තෙල කීහ:
ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හි ලා මෙය වදාරන ලද: “එක් පැනයෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙක. දෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විසඳුමෙක. තුන් පැනෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙක. සිවු පැනෙක, සිවු උදෙසුමෙක, සිවු විසඳුමෙක. පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙක. ස පැනෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙක. සත් පැනෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙක. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙක. නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙක. දස පැනෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකැ”යි. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් කෙසේ අර්‍ත්‍ථ දතයුතු දැයි.
ඇවැත්නි, තෙල භගවතුන් හමුයෙන් නො ම අසන ලද. හමුයෙන් නො ම පිළිගන්නා ලද, මනෝභාවනීය භික්‍ෂූන් හමුයෙන් නො ද අසන ලද, නො ද පිළිගන්නා ලද. වැලිත් මෙහි ලා මට යම් සේ වැටහේ නම් ඒ අසවු. මොනොවට මෙනෙහි කරවු. කියමි යි. ආර්‍ය්‍යාවෙනි, එසේ ය යි කජඞ්ගලා උපාසකයෝ කජඞ්ගලා භික්‍ෂුණියට පිළිවදන් අස් වූ හ. කජඞ්ගලා භික්‍ෂුණී තෙල කිවු ය.
එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, මෙසේ තෙල යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් සඳහා කියන ලදය. ඇවැත්නි, එකම දහමෙක් මොනොවට මහණ උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර එක් දහමෙක යත්: සර්‍වසත්‍වයෝ ආහාර ස්ථිතිකය හ. ඇවැත්නි, මේ එක් ධර්‍මයෙහි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වවයට පැමිණ දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ පිණිස කියන ලද.
දෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විමසුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් සඳහා දෙසන ලද ය යත්: ඇවැත්නි, දහම් දෙකෙකැ මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දෙකෙක යත්: නාමයෙහි හා රූපයෙහි හා යි. ... කවර තුනෙක යත්: තුන් වේදනායෙහි ය -පෙ- ඇවැත්නි, මේ තුන් දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නොඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. තුන් පැනයෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද.
සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් පිණිස දෙසන ලද ය යත්: ඇවැත්නි, සතර දහමෙක මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්: සතර සීවටන්හි ය. ඇවැත්නි, මේ සතර දහම්හි මහණ මොනොවට සුභාවිත චිත්තය ඇතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල කරුණ මෙ පිණිස දෙසන ලද.
පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: ඇවැත්නි, පස් දහමෙක්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර පසෙක යත්: පඤේචන්‍ද්‍රියන්හි ය. .. කවර සයෙක යත්: ෂට් නිඃසරණීය ධාතුයෙහි ය ... කවර සතෙක යත්: සප්ත බෝධ්‍යඞ්ගයන්හි ය. ... කවර අටෙක යත්: ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගයෙහි ය. ඇවැත්නි, මේ අට දහම්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යයන්තය දක්නේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙකැයි මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල පිණිස දෙසන ලද.