10. 1. 3. 7.
පඨම මහාපඤ්හ සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි සම්බහුල භික්‍ෂුහු පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬුපිණිස පිවිසගත්හ. එකල්හි මහණුන්ට තෙල සිත විය:
“සැවැත්හි පිඬු පිණිස සරනට දැන් ඉතා අලුයම ය. අපි අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙමෝ නම් යෙහෙකැ”යි.
ඉක්බිති ඒ මහණහු අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සම්මෝදනාවට හිත වූ සිහිකටයුතු කථාව නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ තෙල කීහ:
ඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසත්: එව, මහණෙනි, හැම දහම් දැන පසක්කොට වාසය කරව, හැම දහම් පසක් කොට කොට වසව”යි, ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දම් දෙසමු: “ඇවැත්නි, එව, තෙපි මෙ දහම් හැම දැන පසක් කරව, හැම දහම් දැන පසක්කොට වාසය කරව”යි.
ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් ගේ මේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව අරභයා අපගේ කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? කවර වෙනසෙකැ?”යි.
එකල්හි එ මහණහු ඒ අන්තොටු පිරිවැජියනගේ වචනය නොම පිළිගත්හ, පරිත්‍යාග නො ද කළහ, නො ද පිළිගෙන පරිත්‍යාග නො ද කොට හුනස්සෙන් නැගී “භගවත්හු වෙතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගනුම්හ”යි ගියහ.
ඉක්බිති එ මහණෝ සැවැත්හි පිඬු පිණිස සැර පිඬුවායෙන් වැළැකියාහු පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ, එකත්පස්ව හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කලහ:
වහන්ස, මෙ සැවැත්හි අපි පෙරවරුයෙහි හැඳපෙරව පා සිවුරු ගෙන පිඬු පිණිස බැස ගතුම්හ. වහන්ස, එ අපහට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට තව බොහෝ කල් ඇත් මැයි. අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹමෝ නම් මැනැවැ”යි. වහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹියෙමු. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වීම්හ, සතුටු වියුයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුනුම්හ. වහන්ස, එකත්පස්ව හුන් අපට අන්තොටු පිරිවැජියෝ තෙල කීහ:

“ඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසන්නාහ: “මහණෙනි, එව, තෙපි හැම දහම් මොනොවට දනුව, හැම දහම් මොනොවට දැන පසක් කොට වායස කරව”යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු: ‘ඇවැත්නි, එව තෙපි සියලු දහම් මොනොවට දනිවු. සියලු දහම් මොනොවට දැන දැන වාසය කරවු”යි. ඇවැත්නි, මෙ කරුණෙහි ලා අප අතර කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? මහණ ගොයුම්හුගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව ඇරබ කවර නානා කරණයෙක්ද?