10. 1. 3. 6.
කාලී සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්තී ජනපදයෙහි කුරරඝර සමීපයෙහි වූ පවත්ත පව්වෙහි වාසය කරත්. එකල්හි කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වැඳ එකත්පස් ව හුනු. එකත්පස් ව හුන් කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන්ට තෙල සැලකළා:
වහන්ස, (මාරදුහිතෘ) කුමාරි ප්‍රශ්නයන්හිදී භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරණ ලදී:
1. “ප්‍රිය ස්වභාව ඇත්තාවූ ද සාත ස්වරූප ඇත්තාවූ ද කෙලෙස් මරසෙන් දිනා මම ඒකාකී වූයෙම් ධ්‍යාන කරමින් (අර්‍හත්‍ව නැමැති) අර්‍ත්‍ථ ප්‍රාප්තිය ඇති හෘදයාගේ ශාන්තිය වූ සුඛය සාක්‍ෂාත් කෙළෙමි. එහෙයින් ජනයා සමග ධර්‍මසාක්‍ෂිභාවයක් නො කරමි, කිසිවකු හා මාගේ සාක්‍ෂි ධර්‍මයක් නො සැපෙයේ”යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය කිසෙයින් විතර විසින් දැක්ක යුතුදැ? යි.
බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.
බුහුන, ඇතැම් මහණබමුණෝ අර්‍ත්‍ථයෝ අපොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, තේජෝකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, වායොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, නීලකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, පීතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ...
බුහුන, ලෝහිතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ඔදාතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ආකාසකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තිය පරම කොට ඇතියහ යි එය නිපද වූහ. බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තියහුගේ යම් පමණ වූ පරමතායෙත් වේ නම් භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දත්හ, භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දැන ආදිය දුටහ, ආදීනවය දුටහ, නිස්සරණය දුටහ, මග්ගාමග්ගඤාණදස්සනය දුටුහු. ඔබ විසින් ආදිදර්‍ශනය හේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිස්සරණදර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශන හේතුයෙන් හෘදයයාගේ ශාන්තිය වූ අර්‍හත්‍වර්‍ත්‍ථප්‍රාප්තිය විදිත වෙයි.
බුහුන, භාග්‍යවතුන් වහන්සේ කුමාරි ප්‍රශ්නයෙහි:
2. “ප්‍රිය ස්වභාව හා සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා එකලා වූයෙම් ධ්‍යාන කරනෙම් මම හෘදයාගේ ශාන්තිය වූ අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථප්‍රාප්තිය නම් වූ සුඛය ලදිමි, එහෙයින් ජනයා කෙරෙහි සාක්‍ෂි නො කරමි. කිසිවකු හා මාගේ සාක්‍ෂියෙක් නො යෙදේ ය”යි. මෙසේ යමක් දෙසන ලද නම්:
බුහුන, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දතයුතුයි.
10. 1. 3. 7.
පඨම මහාපඤ්හ සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි සම්බහුල භික්‍ෂුහු පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬුපිණිස පිවිසගත්හ. එකල්හි මහණුන්ට තෙල සිත විය:
“සැවැත්හි පිඬු පිණිස සරනට දැන් ඉතා අලුයම ය. අපි අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙමෝ නම් යෙහෙකැ”යි.
ඉක්බිති ඒ මහණහු අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සම්මෝදනාවට හිත වූ සිහිකටයුතු කථාව නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ තෙල කීහ: